මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමඟ ඉන්දීය ධීවරයන් 17 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, පෙරේදා (23) මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවාහැරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කර තිබිණි.
එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙක සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
මේ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවර පිරිස තලෛමන්නාරම ජැටිය වෙත රැගෙනැවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලයට භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
මේ අතර, නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ සිදු කළ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 72ක් සහ ඉන්දීය ධීවරයන් 554 දෙනකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.-