Home » අඩු මිලට මත්පැන් දීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න පිරිසක් සැරසෙනවා

අඩු මිලට මත්පැන් දීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න පිරිසක් සැරසෙනවා

මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනයෙන් ජනාධිපතිට ලිපියක්

by mahesh
December 25, 2024 1:00 am 0 comment

රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ අඩාළ කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක්, අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරින් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙරේදා (23) ලිපියක් යවමින් දැනුම් දුන්නේය.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දූෂණ සහ අක්‍රමිකතා මර්දනයට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් සංගමයේ සභාපති ඩී.ජී.ඒ. උඩුගම මහතා පැවසීය. නීතියට පටහැණිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනයට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම ඉතා කනගාටුදායක බව ද ඔහු පෙන්වා දුන්නේය.

සුරාබදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් වර්තමානයේ මහා පරිමානයෙන් සහල් සහ සීනි භාවිත කරනවා යැයි ද පෙන්වා දෙයි.

දැනට වෙළෙඳපොළේ පවතින බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කරන්නැයිද උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT