Home » තරුණ තරුණියන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනයට පියවර

තරුණ තරුණියන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනයට පියවර

by mahesh
December 25, 2024 12:59 am 0 comment

මහින්ද අලුත්ගෙදර

මෙරට තරුණ තරුණියන්ගේ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගත් තාක්ෂණික කුසලතා සංවර්ධන පුහුණුව ආරම්භ කිරීමට එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් සහ එච්. සී. එල්. ටෙක් ආයතන පියවර ගෙන තිබේ.

එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ පුහුණු සමාගමක් වන එච්. සී. එල්. ටෙක් ආයතනය සමඟ හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත්කළ අතර, මෙරට තරුණ පෙළ සඳහා තාක්ෂණික කුසලතා සංවර්ධන පුහුණුව අරඹන සැලැස්මක් ආරම්භ කොට ඇත. පාත්ෆයින්ඩර් එඩෙක්ස් සමාගම මෙහිදී නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, පාත්ෆයින්ඩර් ආයතනය සමඟ ඇති කරගත් එකඟතාව අනුව එච්. සී. එල්. ටෙක් ආයතනය ලෝකයේ රටවල් පනස් නවයක දැනට කරගෙන යන තොරතුරු තාක්ෂණ පුහුණු සැලැස්ම සඳහා අපේ රට ද ඇතුළත් කෙරේ.

පළමු අදියර යටතේ කොළඹ සහ යාපනය නගරවල පාත්ෆයින්ඩර් එඩෙක්ස් පුහුණු මධ්‍යස්ථාන අරඹන අතර, පසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක කේ. බාලසුන්දරම් මහතා සහ ඉන්දියාවේ එච්. සී. එල්. ටෙක් ජාත්‍යන්තරයේ උප සභාපතිනි ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය මෙයට අදාළ ගිවිසුම හුවමාරු කරගෙන තිබෙන අතර, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් දේවිකා ලාල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට ඩිජිටල් අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම අනුව මෙරට තොරතුරු තාක්ෂණ ශ්‍රම බළකාය දැනට පවතින අසූ පන්දහසක සීමාවේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා වර්ධනය කිරීමට ඉදිරි වසර දෙකේ සිදුවන වන බව මෙහිදී පෙන්වා දුන් වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා වසර 2030 වනවිට තොරතුරු තාක්ෂණ අංශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක් උපයන සැලැස්මක් රජයට ඇති බව ද සඳහන් කළේය.

අලුතින් ඇති කරගත් එකඟතාව අනුව ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙරට තරුණ තරුණියන් සඳහා සැපයිය හැකිවනු ඇති බවට බලාපොරොත්තු පළ කළ ඒ මහතා, වෘත්තිය පුහුණු අවස්ථා සමඟ තරුණයන්ගේ ශිල්පීය දක්ෂතා ඉහළ නැංවිය හැකි බව ද පෙන්වා දුන්නේය. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ පුහුණු සැලැස්මකට ඇතුළුවීම අගය කරන බව ද මෙහි දී සඳහන් කළේය.

ඔසඳ සේනානායක (බ්‍රැන්ඩික්ස්), නිෂාන් සෙම්බකුට්ටි ආරච්චි (ඊසොෆ්ට්), හසිත කරුණාරත්න (කේ. පී. එම්. ජී.) සහ බිමල් ගුණපාල (ඩයලොග්) මහත්වරු මෙහි දී මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ පැතිරීම, අවස්ථා හා අභියෝග සම්බන්ධයෙන් ආරාධිතයන් දැනුම්වත් කරන සංවාදයක් පැවැත්වීම ද මේ ගිවිසුම හුවමාරු කරගන්නා අවස්ථාවට සමාන්තරව සංවිධාන කර තිබීම විශේෂත්වයකි.

කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව ඇතුළු අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ මෘදුකාංගවල පැතිරීම අධ්‍යයනය කළ හැකි මිශ්‍ර අධ්‍යයන අවස්ථා ආරම්භ කරන අතර, උසස් තාක්ෂණය සම්බන්ධ ප්‍රායෝගික පුහුණුව සඳහා අවකාශ ඇති කිරීම කෙරෙහි පාත්ෆයින්ඩර් එඩෙක්ස් ආයතනය කටයුතු සංවිධාන කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT