උත්සව සමය මුල් කර ගනිමින් ආහාර සම්බන්ධයෙන් සිදු කළ වැටලීම්වලින් ලබා ගත් සැක සහිත සාම්පල් 600ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිනමිණ’ට ඊයේ (24) පැවසීය.
නත්තල් උත්සව සමය සහ අලුත් අවුරුදු කාලය මුල් කර ගනිමින් මෙම වැටලීම් සිදු කරන බවත් උත්සව සමයේ නිෂ්පාදනය කරන ආහාර සහ ආහාර නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය පොල්තෙල්, රසකාරක, වර්ණක වැනි දේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කර මෙම සාම්පල් ලබා ගැනීම සිදු කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ සාම්පල්වල වාර්තාව තවමත් නොලැබුණු බවත් සාම්පල් වාර්තා ලැබුණු වහාම නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවේය.
තහනම් රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදවීම සිදු කළ කෙසෙල් සම්බන්ධයෙන් ද වැටලීම් කිහිපයක් සිදු කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය. දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා ආහාර වැටලීම් විශේෂ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරන අතර ප්‍රධාන වශයෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වන හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීම් සිදු කරන බව ද ඒ මහතා කීය.
රට පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 372කම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ක් යොදවා ගනිමින් මෙම විශේෂ වැටලීම් වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.