Saturday, April 19, 2025
Home » ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම රටටම හොඳයි

ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම රටටම හොඳයි

by mahesh
December 25, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම රජයට පමණක් නොව සමස්ත ආර්ථිකයටම සුබදායක ආරංචියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා ඊයේ (24) මේ බව කීවේය. ශ්‍රී ලංකාව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවතට ගෙන ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන MOODY’S ආයතනය සහ ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා තිබෙන බවත් එය රටටම සතුටුදායක ආරංචියක් බවත් හෙතෙම කීවේය.

ණය ගැනීම සම්බන්ධයෙන් රට අර්බුදයකට පත් කර තිබීම නිසා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට දැඩි ලෙස බලපෑවා. විදුලි ඒකකයකට අය කළ යුතු මුදල සම්බන්ධයෙන් ඉන්දියාවේ අදානි සමාගම ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරන වකවානුවේ ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති නිසා ඉන්දියාවේ අදානි සමාගමට එය බලපාන බව එම සමාගමත් ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති නිසා ආයෝජකයන් ලංකාවට එන්න මැළිකමක් දක්වා තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම රජයට පමණක් නෙවෙයි සමස්ත ආර්ථිකයටම එය සුබදායක ආරංචියක්. ඒ වගේම තවම ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගත හැකි ශ්‍රේණිගත කිරීමකට ශ්‍රී ලංකාව පැමිණිලා නැහැ. එතනට ශ්‍රී ලංකාව පැමිණෙන්න ආර්ථිකය ශක්තිමත් විය යුතුව තිබෙනවා. ඒ වගේම දැන් මේ ලැබිලා තිබෙන්නේ පසුගිය ආණ්ඩුව සිදු කළ දේවල් වගේම පාර්ලිමේන්තුවේ සම්මත වුණු අණ පනත් සහ රට වැටිලා තිබුණු ආර්ථිකය යම්කිසි ස්ථාවරභාවයට ගෙන එන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. අලුතින් සිදු කළ දෙයක් නිසා නෙවෙයි ජනාධිපතිවරණයට පෙර ඇති කර ගත් එකඟතාව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණිලා තිබෙන්නේ යැයිද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT