රෝගියකු බලන්න රාගම ගිහින් හිටිය මට නෝනා කෝල් කරලා කිව්වා පුතා නාන්න ගිහින් අතුරුදන් වෙලා කියලා
– මියගිය සිසුවාගේ පියා
“ජනිතුයි මමයි ටීෂර්ට් ගලවලා ගොඩින් තියලා නාන්න දැදුරු ඔයට පැන්නා. එක පාරම මාව පහළට ගහගෙන ගියා. මට හුස්ම ගන්න බැරුව දඟලමින් උඩට එනකොට ජනිත් අත්දෙක වතුරේ ගහමින් ගොඩට එන්න දඟලමින් ඉන්නවා දැක්කා. මම අමාරුවෙන් පඳුරක එල්ලුණා. ආයෙ මම ජනිත්ව දැක්කේ නෑ.”
දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිට දින තුනකට පසුව සොයා ගත් 14 වියැති සිසුවකු සමඟ දිය නෑමට ගොස් දිවි බේරා ගත් විහඟ දිනෙත් ආමන්ත (14) සිසුවා සිය මිතුරාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් එසේ පැවසීය.
දැදුරු ඔය ආසන්නයේ පදිංචි තම පන්තියේ මිතුරියකගේ උපන්දින සාදයකට එම නිවෙසට පැමිණි එකම පන්තියේ ගැහැනු පිරිමි ළමයින් දසදෙනකු විනෝද වීමට දැදුරු ඔයේ දිය නෑමට ගොස් මෙලෙස මියගියේ කොබෙයිගනේ, හෙන්ගමුව මහා විද්‍යාලයේ නවය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචි කේ. ජනිත් චතුරංග ( 14) නමැති සිසුවාය.
නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේදී මේ හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය.
එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් විහඟ දිනෙත් ආමන්ත මෙසේ ද පැවසීය.
“මම ඉන්නේ හෙන්ගමුවේ. මගේ අම්මා රට රස්සාවකට ගිහින්. මල්ලිලා දෙන්නයි මමයි ආච්චි ළඟ ඉන්නේ. මාස දෙකක විතර ඉඳලා මම ඉන්නේ අම්මගේ යාළු නැන්දා කෙනකුගේ ගෙදර. සිද්ධිය වූ දවසේ අපේ පන්තියේ මිතුරියකගේ උපන් දිනය යෙදී තිබුණා. එයා අපට ගෙදර එන්න කියලා ආරාධනා කර තිබුණා. මම උදේ අම්මටත් ඒ බව කෝල් කරලා කිව්වා. ඒ මිතුරියගේ ගෙදර යන්න මියගිය ජනිතුයි මමයි බයිසිකලයෙන් පිටත් වුණා. අපි ඒ ගෙදරට ගියාට පස්සෙ අනිත් යාලුවෝ කට්ටියත් ආවා. ගැහැනු ළමයි පස්දෙනයි පිරිමි ළමයි පස්දෙනයි තමා මේ ගමනට ගියේ. අපි පිරිමි ළමයි පස්දෙනා දැදුරු ඔය බලන්න ගියා. අපි එහි ටිකක් වෙලා ඉඳලා ආපහු ආවා. ඒ ඇවිත් කට්ටියම කේක් කාලා තේ බිව්වා. පස්සේ ගැහැනු ළමයි කට්ටිය කිව්වා, දැදුරු ඔය බලන්න යමු කියලා. ඊට පස්සේ අපි දහ දෙනා දැදුරු ඔයට යන්න පිටත් වුණා. අසල්වැසි මිතුරියක් ද අපි එක්ක එකතු වුණා. දැදුරු ඔයට ගිහින් ජනිතුයි මමයි කුඹුක් ගහක් යට ඉඳගෙන ජනිත්ගේ ෆෝන් එකෙන් ගේම් ගහමින් සිටියා. අනිත් කට්ටිය වැල්ලේ ෆෝන්වලින් ෆොටෝ ගහමින්, වීඩියෝ කරමින් හිටියා. ජනිත් මට කිව්වා, අපිට ආයේ දැදුරු ඔයට එන්න වෙන්නේ නෑ, ඒ හින්දා නාමු කියලා. පස්සේ අපි දෙන්නා ටීෂර්ට් ගලවලා ගොඩින් තියලා නාන්න වතුරට පැන්නා. එක පාරටම මාව පහළට ගහගෙන ගියා. මට වතුර යට හුස්ම ගන්න අමාරු වුණා. කොහොම හරි දඟලලා උඩට එනකොට ජනිත් වතුරේ අත්දෙක ගහමින්, ගොඩ එන්න දඟලමින් ඉන්නවා මට පෙනුණා. ගොඩ හිටිය යාළුවෙක් කෑගහලා කිව්වා, පඳුරක එල්ලෙන්න කියලා. මම පඳුරක එල්ලුණා. ඒ යාළුවා වෙන පැත්තකින් ඇවිත් පීනලා මාව ගොඩට ගත්තා. අනික් යාළුවෝ කෑගහමින් හිටියා. ගොඩට ඇවිත් බලන කොට ජනිත් හිටියේ නෑ. ජනිත්ට මොනවා වුණාද කියලා මම දැක්කේ නෑ. අහල පහල මාමලා ඇවිත් දැදුරු ඔයට බැහැලා ජනිත්ව හොයන්න පටන් ගත්තා. ඒත් ජනිත් හමු වුණේ නෑ පසුව මාමා කෙනෙක් පොලීසියට කෝල් කළා. ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් කට්ටියක් ආවා. සියලු දෙනාම එකතු වෙලා ජනිත්ව හොයන්න ගත්තා. ඒත් ජනිත් හමු වුණේ නෑ. රෑ වුණ හින්දා අපි කට්ටියම ගෙවල්වලට ගියා. පහුවදාත් පොලීසිය, නාවික හමුදාව, ගමේ අය එකතු වෙලා ජනිත්ව හෙව්වත් හමු වුණේ නෑ කියලා දැන ගත්තා. ඊට පස්සෙ දවසෙ සොයන කොට බට පඳුරක් අස්සේ සිරවෙලා තිබුණ ජනිත්ගේ නරක් වූ මළ සිරුර හමු වූ බව දැන ගත්තා.”
මියගිය සිසුවාගේ පියා වන කේ. රවි කුමාර (49 ) සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
“අපි පදිංචි වෙලා ඉන්නේ ගුරුගොඩ, හෙන්ගමුව. රස්සාවට කරන්නේ කුලී වැඩ. නෝනත් අසනීපයෙන් ඉන්නේ. අපට ඉන්නේ පුතාලා දෙන්නයි. මේ නැතිවෙලා ඉන්නේ අපේ දෙවෙනි පුතා. එදා මම රෝගියෙක් බලන්න රාගම ඉස්පිරිතාලෙට ගිහින් හිටියේ. එදා දහවල් නෝනා අඬමින් කතා කරලා කිව්වා, ජනිත් පුතා දැදුරු ඔයේ නාන්න ගිහින් අතුරුදන් වෙලා කියලා. මම ඒ ගමන්ම ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එනකොට රෑ හත විතර වුණා. පහුවදත් පොලීසිය, නාවික හමුදාව, ගමේ අය එකතු වෙලා පුතා හොයන්න පටන් ගත්තා. ඒත් හමු වුණේ නෑ. ඊට පහුවදාත් ඒ විදිහටම හොයන්න ගත්තා. මමත් ඊට එකතු වුණා. දහවල් වෙද්දී පල්ලෙහා හිටපු කට්ටිය කෝල් කරලා කිව්වා, පුතාගෙ සිරුර හමු වුණා කියලා. පසුව කට්ටියම එතැනට ගියා. සිද්ධිය වූ තැන ඉඳලා කිලෝමීටරයක් විතර පහළින් බට පඳුරක සිරවෙලා හොඳටම නරක් වෙලා තිබුණ පුතාගේ සිරුර මම හඳුනා ගත්තා.”
මේ සිද්ධිය වෙන අවස්ථාවේ එම ස්ථානයේ සිටි මිතුරු මිතුරියෝ දසදෙනා ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන්හ.
සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ නිකවැරටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ඒ.එම්. පී. පී. අබේකෝන් මහත්මිය මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට සඳහන් කළාය.
වෛද්‍ය වාර්තාව, ලැබුණ සාක්ෂි සහ ස්ථාන පරීක්ෂාව සැලකිල්ලට ගත් නිකවැරටිය හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.
කොබෙයිගනේ පොලීසියේ පොලිස් සැරයන් (60627) මංජුල දිසානායක නිලධාරියා විසින් සාක්ෂි මෙහෙයවනු ලැබීය.