Home » ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලය මෙරටට

ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලය මෙරටට

by mahesh
December 25, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කරන අතර එමඟින් රේඩාර් මඟින් රැස්කරන ලද දත්ත මත පදනම්ව නිවැරදි කාලගුණ නිරීක්ෂණ සහ කාලගුණ අනාවැකි සාක්ෂාත් කරගත හැකි බව ජපන් ජාත්‍යන්තර සහයෝඟීතා ඒජන්සිය පවසයි.

මෙය ගංවතුර, නාය යෑම් සහ නියඟ අවදානම අවම කිරීම පමණක් නොව කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් බවද එම ඒජන්සිය පෙන්වා දෙයි.

මෙම රේඩාර් ජාලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ දී පසුගිය දා සිදුකෙරුණු අතර රේඩාර් ජාලය සඳහා අරමුදල් සැපයීම පිළිබඳ ගිවිසුම 2017 දී අත්සන් කර ඇත. 2020 වසරේ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය සහ 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ආරම්භ කිරීම ප්‍රමාද විය.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නඔකි කමොෂිඩා, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ධර්මතිලක සහ කරුණාරත්න, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අතිවිශිෂ්ට අවස්ථාවට ප්‍රශංසා කර ඇත. 2024 අගෝස්තු මාසයේ දී මෙම රේඩාර් ජාලය ඉදිකිරීම සහ අදාළ පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජපානයේ ගුවන්විදුලි සංස්ථාවේ සහ හසාමා ඇන්ඩෝ කෝපරේෂන් ඒකාබද්ධ ව්‍යාපාරය තෝරාගෙන තිබේ.

රේඩාර් ජාලයට අමතරව, අනෙකුත් සංවිධාන සහ සිවිල් පුද්ගලයින් සමඟ නිවැරදි දත්ත හුවමාරු කර ගැනීමට සහ කාලගුණය පුරෝකථනය කිරීමට රේඩාර් භාවිත කරමින් කාලගුණ දත්ත රැස් කිරීමට, අර්ථ නිරූපණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හැකියාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ධාරිතා ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් ජපන් ජාත්‍යන්තර සහයෝඟීතා ඒජන්සිය දැනටමත් දියත් කර ඇත.

රේඩාර් ඉදිකිරීම සහ පද්ධති ස්ථාපනය 2027 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර දේශගුණික විපර්යාස මඟින් එල්ල වන අභියෝගවලට මුහුණ දීමේ දී තාක්ෂණයේ සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වර්ධනය වන වැදගත්කම මෙම සන්ධිස්ථානය මඟින් ඉස්මතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT