‘ලෝක භාවනා දිනය’ සමරමින් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.
දෙසැම්බර් මස 21 වැනි දිනට “ලෝක භාවනා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව ඓතිහාසික වශයෙන් සම්මත කර ගැනීම සැමරීම සඳහා, නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය විසින් ප්‍රධාන රටවල් සමූහයේ පළමු සැමරුම් උත්සවය පවත්වන ලද අතර, භාවනා පුහුණුවේ ගෝලීය වැදගත්කම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
‘භාවනා කිරීම- එහි විශ්වීයත්වය සහ 21 වැනි සියවසේ අදාළත්වය’ යන මාතෘකාව යටතේ මේ උත්සවය පවත්වා තිබෙන අතර, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ මැසචුසෙට්ස් ආයතනයේ පුහුණුව ලැබූ ආචාර්ය ටෝනි නාඩර් ප්‍රධාන දේශනය සිදු කර ඇත. නූතන ජීවිතය සඳහා භාවනාවේ අදාළත්වය සහ ප්‍රතිලාභ අවධාරණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර, තාක්ෂණය සහ ගෝලීය වශයෙන් පිළිගත් භාවනා විශේෂඥයකු වශයෙන් ඒ මහතා ප්‍රසිද්ධියක් ලබන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය නියෝජනය කරමින් සුගීෂ්වර ගුණරත්න මහතා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කර තිබෙන අතර, අනතුරුව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වීඩියෝ පණිවිඩයක් මෙන්ම ඇන්ඩෝරා, නේපාලය, මෙක්සිකෝව සහ ඉන්දියාවේ නියෝජිතයන් සිය ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.