Tuesday, April 8, 2025
Home » නත්තල් දා සිහිවන පන්සලේ පියතුමා

නත්තල් දා සිහිවන පන්සලේ පියතුමා

by mahesh
December 25, 2024 1:00 am 0 comment

සකල ලෝකවාසී කිතුනු ජනයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන නත්තල් දා ලක්වාසීනට උන්වහන්සේගේ නාමය නිතැතින්ම සිහිපත්වේ. ඒ මාහැඟි සිතුවිල්ල කවර හෝ ආගමික බැඳීමකින් තොරව මතුව එන්නකි. ඒ, මර්සලින් ජයකොඩි පියතුමන්ය. ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ මර්සලින් ජයකොඩි පියතුමන් හඳුන්වනු ලදුයේ “මල් පැලේ උපන් පන්සලේ පියතුමා”යනුවෙනි. එනමින්ම උන්වහන්සේ පියතුමන් අරබයා කෘතියක් ලියා පළ කළේය. එය බෞද්ධ හිමිනමක විසින් කිතුනු පියතුමකු උදෙසා ලියන ලද පළමු කෘතිය ලෙස ද සැලකෙන්නේය. කිතුනු දහමට හෙළ සංස්කෘතික විචිත්‍රත්වය මුහු කරනු ලදුයේ මර්සලින් ජයකොඩි පියතුමන් වග අදත් අවිවාදිතය.

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහිලි නැතිවන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය

මේ පද ගෙත්තම්කරුවා ගරු “මර්සලින් ජයකොඩි පියතුමන්” ය. මානව සමාජය කෙරෙහි වු පියතුමන්ගේ උත්තරීතර හැඟීම කවරක් ද යන්න වටහා ගැනීමට මේ පද ගෙතුම හොඳින්ම සෑහේ.

එතුමන්ගේ සරල එ‍හෙත් හද බැඳ ගන්නා පද මාලා කිතුනුවන් අතර අතිශය ජනප්‍රිය විය. එතුමන් අතින් ලියවුණ ගීතිකා සංඛ්‍යාව 500 කට ආසන්න එම ගීතිකා අතරින් වඩාත් ජනප්‍රියව ඇත්තේ එතුමා මරියතුමියයේ ගෞරවය සඳහා රචනා කළ ගීතිකා ය. ‍

දෙපා ළඟ තබාලා, ශ්‍රී ලංකා රාණි මෑණියේ, නෙළුම් පිපීලා පෙති විසරීලා ආදිය ඊට නිදසුන් ය. ජයකොඩි පියතුමා විසින් රචිත ගීතිකා හා ස්වර රචනා පොත් රාශියක් වෙයි. “ මල් කුමාරි, මංගලී, කැකුළු කිණිති, තුන් කැකුළු, රෝස තිත, යා ගී, වන මල, සරණ සිරිත” ඉන් කිහිපයක් පමණකි.

1949 දී රචිත එතුමාගේ මුල්ම කැරොල් ගීය “රෑ තරු බබළනවා ” නම් විය. ඉන් පසුව පියතුමන්ගේ මනස් විලෙහි පිපී සීනු හඬින් ලොව පිබිදෙනවා, කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ, රැයක අඳුර දුරුවෙලා, රනින් මුදු සදාලා” ආදී කැරොල් ගීතිකා අදත් ජනප්‍රියත්වයේ කිරුළ දරයි. මේ සියලු ගී එක්කොට එතුමන් “කැරොලිනා” ගීත සංග්‍රහය පළ කරනු ලැබීය. කවිය, ගීතය, කැරොල් ආදී එතුමාගේ කෘති කුමක් වුව ද කුඩා දරුවකුට වුව ගායනා කර රස විඳිය හැකිය. ඉතා සරල, සුගම බස් වහරකින් යුතු විය. ජේසු සමිඳුන් හා මරියතුමිය දෙස ලාංකේය ඇසකින් බැලීමට ජයකොඩි පියතුමන් සිය නිර්මාණ කලාව මෙහෙයවීය.

තඹුත්තේගම විශේෂ – ඩබිලිවි.ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT