ලෝකවාසී සියලු කිතුනු බැතිමතුනට ඉමහත් සතුටක් ගෙන දෙන මාසයක් ලෙස දෙසැම්බර් මාසය හඳුන්වයි. එයට හේතුව වී ඇත්තේ ලෝකවාසී කිතුනු බැතිමතුන් දෙසැම්බර් මාසය සලකන්නේ ඔවුනට එළඹෙන අවුරුද්ද ලෙසිනි. ආගමික නායකයෙක් බිහි වීම යනු කලාතුරකින් සිදු වන්නකි. එය ලෝක සත්ත්වයාටම යහපත පිණිස සිදු වන්නකි. එසේ වුවද පසුකාලීන වනවිට සමහර ආගම් තුළ එම ශාස්තෲන්ගේ සැබෑ දර්ශනය විකෘති කොට ආත්ම ලාභය හා ආත්ම තෘප්තිය තකා ලෝකයට හා සත්ත්වයාට අයහපතක්, අවැඩක් සේම විනාශයක් සිදු වන අයුරින් ක්‍රියාත්මක වන අයුරුද දැක ගන්නට තිබීම අභාග්‍යසම්පන්න සිදුවීමකි. ආගම් අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ ප්‍රාථමික චර්යාවන් වෙනස් කොට උසස් ගුණධර්ම වර්ධනය කිරීම උදෙසාය. සිත, කය, වචනය තමන්ටත්, අනුන්ටත් යහපතක් පිණිස පවත්වා ගැනීමටය. ආගමක් අදහන්නන් තම තමන්ගේ ආගම තුළ එවැනි හිංසාවාදී ක්‍රියාවන් සිදු වෙනවා ද යන්නත් සිතා බැලීම ද ඉතා වැදගත් වනු ඇත.
බහුතරයක් ලොව ජීවත් වන්නේ ක්‍රිස්තු භක්තිකයන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන්ගේ ශාස්තෘවරයා වන්නේ ජේසුස් වහන්සේයි. ඔවුන් නත්තල වශයෙන් සමරන්නේ ජේසුස් වහන්සේගේ උපතයි. එය ඉතා උත්කර්ෂවත් අයුරින් නත්තල් උත්සවය හරහා සිදු කරන ආකාරය දැකගන්නට ලැබේ. එම නත්තල් උත්සවයේ සමාරම්භය පිළිබඳ අතීතයෙන් කරුණු බිඳක් ගෙනහැර දැක්වීම වර්තමාන දූ දරුවන්ට ඉතා වැදගත් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.
නත්තල පිළිබඳ විමසීමේදී එහි ආරම්භය 4 වැනි සියවසේදී සිදු වූ බව පැහැදිලි වේ. ජේසුස් වහන්සේ හරහා උදාවුණු නත්තල් උත්සවය ජේසුස් වහන්සේට ගෞරවයක් පිණිස සැමරීම කිතුනු බැතිමතුන්ගේ සම්ප්‍රදායයි. එය තම ශාස්තෘවරයාට කරන ඉහළම සැලකිල්ලක් ද වනු ඇත. ක්‍රි:ව: 1 දී ලොව පහළ වූ ජේසුස් වහන්සේ යුදෙව්වන්ගේ මවුබිම වූ පලස්තීනයෙහි අවුරුදු 33ක් ජීවත් වූ අතර, ඒ හරහා බිහි වුණු ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථය වන්නේ බයිබලයයි. ලෝකය මැවීමේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දක්වා වූ කාලය පැරණි ගිවිසුම ලෙසත් ඉන් ඉක්බිති කොටස නව ගිවිසුම ලෙසත් ග්‍රන්ථකරණය වී ඇත. ඒ අනුව කිතුනුවන් පිළිගන්නා දහම දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියනු ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අනුව කිතු දහම ශත වර්ෂ දෙදාහකට ආසන්න පැරණි වූවක් බව පැහැදිලි වේ.
බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේ සියල්ල මැවූ සේක. සියල්ල මැවූ දෙවියන් වහන්සේ මිනිසා ද මැවූ සේක. මුළු විශ්වයම පාලනය කර, මෙහෙයවමින් දේව මහිමය ප්‍රශංසා කරන්නට මවන ලද මිනිසා, යක්ෂයාගේ කූටෝපායට රැවටී දෙවිඳුන් ප්‍රතික්ෂේප කළේය. දුක, වේදනාව, පීඩනය ආදී සියල්ල ලොව තුළ බිහිවූයේ මෙකී අකීකරුකම හේතුකොට ගෙනය.
දේව සාධාරණත්වය පදනම් කොටගෙන මිනිසාට දඬුවම් කළ දෙවිදාණෝම තමන් වහන්සේගේ සීමාරහිත කරුණාව පෙරදැරිව මිනිසා යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා සැලැස්මක් යෙදූහ. ඒ සැලැස්ම වූයේ තම පුතණුවන් මිනිස් බව තුළින් මනුලොවට එවීමයි. මෙසේ මනු බව ගෙන මිහිපිටට වැඩම කළ දේව පුත්‍රයාණෝ කිතු සමිදාණෝය.
ඒ අතර ජුදා ඇතුළු පිරිසක් කිතු දහම නොපිළිගෙන සමිඳුන් ඝාතනය කරන්නට උපායක් යෙදූහ. මෙසේ ජුදයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ කුරුසයක් මත මරණය හිමි කර ගත් ක්‍රිස්තුන් වහන්සේ යළි මරණයෙන් උත්ථාන වූහ. ඒ ගැන සැකයෙන් සිටි තම ගෝලයින්ටත් සෙසු පිරිසටත් ප්‍රත්‍යක්ෂ වන පරිදි වැඩ සිටිනු සේක. යහපත සදා පවතින බවත් මිනිස් දිවිය මෙලොවට සීමා වී නැති බවත් පෙන්වා දුන් කිතු සමිදාණෝ දහම අනුව මිහිපිට පැවැත්ම නිම වූ පසු යහපත කළ පින්වත්හු ස්වර්ගයේ දෙවිඳුන් හමුවට ද, දුදනෝ නිරයට ද යවනු ලැබ සදා සැප හෝ දුක විඳින බව දේශනා කළහ.
කිතු දහම දේශනා කළේ ක්‍රිස්තුන් වහන්සේයි. උන්වහන්සේ මනු ලොවට පැමිණ දෙසූ ඒ උතුම් දහම, කාටත් සෙතක් සැලැස්වීමට එවක යුගය තුළ ප්‍රබල සාධකයක් විය. එහි ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් දසපනත හැඳින්වීමට පුළුවන. එය සීල ධර්මය නමින් ද හැඳින්වේ. මිනිසුන්ට චර්යාමය වෙනසක් ඇති කර ගැනීම සඳහා එම දේව පනත් 10 ඉතා වැදගත් වේ. එහි සඳහන් “දෙවියන් වහන්සේටත් අසල්වැසි සහෝදරයන්ටත් ප්‍රේම කරන්න.” යන වාක්‍යය තුළ මුළු කිතු දහමම අන්තර්ගත වී ඇත. දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා දේව පනත් 10ම අනුගමනය කරන්නෙකු වනු ඇත. සහෝදරයාට ප්‍රේම කරන තැනැත්තා ඔහුට යහපතම කරයි. එම කිතු දහමෙහි සඳහන් දස පනත අනුගමනය කිරීම තුළින් සියලු ලෝකවාසීන්ටම යහපත කැඳවනු ඇත.
1. සැබෑවූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව
2. සමිඳාණන්ගේ ශ්‍රී නාමය ගෙන බොරුවටත් නිරර්ථකයටත් නොදිවුරව
3. ඉරුදිනත් ණය මංගල්‍යය දිනත් නිවාඩු වලංගු කරව
4. මවුපියන්ට සංග්‍රහ කරව
5. ජීවිත විනාශ නොකරව
6. කාම මිථ්‍යාචාරය නොකරව
7. සොරකම් නොකරව
8. බොරු සාක්ෂි නොකරව
9. පරදාර ආලය නොකරව
10. අන් වස්තු ආශා නොකරව
ඉහතින් සඳහන් කළ දස පනත සහිත කිතු දහම ආරම්භ වන්නේ ජේසුස් වහන්සේගේ මරණයෙන් අනතුරුවය. ජේසුස් වහන්සේට විරුද්ධව ක්‍රියා කළ ද යුදෙව්වන් අතරින්ම කිහිපදෙනෙක් ඔවුන් අපේක්ෂා කරන ලද විමුක්තිදායකයා ජේසුස් වහන්සේම බව සලකා, එතුමා ශාස්තෘවරයා ලෙස සලකා එම ආගම දිගටම පවත්වාගෙන ගියහ. ජේසුස් වහන්සේගේ පියා වන්නේ සර්ව බලධාරී දෙවියන්ය. මව මරියතුමියයි. ජේසුතුමන් මියගිය ද ඔහු ලොවට ඉදිරිපත් කළ දර්ශනය අද ද ජීවමානව පවතියි. එතුළින් ලෝවාසීන්ටම සෙතක්ම සලසනු ඇත. ඉහත සඳහන් කළ දස පනත පරිශීලනය කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ.
එවන් උතුම් ශාස්තෘවරයකුගේ උපන් දිනය නිමිති කරගෙන අප කළ යුත්තේ නත්තල තුළ කා බී සතුටු වීම පමණක්නම් එය ප්‍රමාණවත් නොවනු ඇත. විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේ ලොවට හඳුන්වා දුන් දහම් පණිවිඩය පිළිබඳව ද අවධානය යොමු කිරීමත් එතුළින් තම තමන්ගේ අඩුපාඩු සකස් කර ගැනීමත්, කළ හැකිනම් එය නත්තල සැබෑ ලෙස සැමරීමක් වන්නේය. එවිට කාගේත් චර්යාමය වෙනසක් දැක ගැනීමට පුළුවන. උසස් මනසක් ලැබූ සත්ත්වයන් වශයෙන් ගුණධර්ම ප්‍රගුණ කිරීම උදෙසා ආගම ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගත යුතුය. සතුට, සහජීවනය, මිත්‍රත්වය සියලුදෙනා තුළම පැන නැඟෙනවානම් මේ ලෝකය මීට වඩා සුන්දර එකක් වනු ඇත. අද අප ඉදිරියෙහි දක්නට ලැබෙන විවිධ ප්‍රශ්න ගැටලුවලට හේතුව වී ඇත්තේ ආගම ධර්මයට අවනත නොවී බාහිරින් පමණක් එය අනුගමනය කිරීම නොවේ ද? නත්තල් දිනය මතකයට ගෙන ආදර්ශවත් චරිත ගොඩනඟා ගැනීමට සිතට ගන්නවානම් එය සැබෑ ලෙස නත්තල් සැමරීමක් වන්නේය. එම උතුම් චරිතය හරහා සතා සිවුපාවන්ට පවා අභය දානය දෙමින් නත්තල් උත්සවය සැමරීමට හැකිනම් එය උතුම් ක්‍රියාවක් වනු ඇත. ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයකින් සැබෑ නත්තල් සතුට විඳීමට සැවොම සිතට ගනිත්වායි යන්න මගේ එකම ඉල්ලීමයි.
මහව, උඩගම ශ්‍රී ඉන්දසුමන
මහ පිරිවෙන්හි ජ්‍යෙෂ්ඨාචාර්ය,
ගලගෙදර රතන හිමි