Tuesday, April 8, 2025
Home » අද නත්තල මිත්‍යාවක් සැබෑ අරුත සොයා යාම අභියෝගයක්

අද නත්තල මිත්‍යාවක් සැබෑ අරුත සොයා යාම අභියෝගයක්

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා

by mahesh
December 25, 2024 1:00 am 0 comment

(ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන් සමඟ නත්තල හා ඒ හා බැඳුණු කරුණු පිළිබඳ කළ කතා බහක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.)

අද දවසේ නත්තල බොහෝ සෙයින් වාණිජකරණයට ලක්ව ඇති බවට මතයක් පවතී. එය සාධාරණ මතයක් බැව් අප පිළිගත යුතු ය. ඒ නිසාම එය විවිධ අයුරින් විග්‍රහ කර ගත හැකි ය. එහෙත් නත්තලේ නිසි අරුත සොයාගැනීමට එය බාධාවක් කරගත යුතු නොවේ. බයිබලයේ එන ඉසයියස් දිවැසිවරයා ගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ මෙසේ දැක්වෙයි. “අඳුරේ සිටි ජනයා, මරණ බියේ සිටි ජනයා අලෝකයක් දුටුවේය”.

නත්තල විසින් අඳුරේ සිටි ජනයා ආලෝකය කරා ගෙන ගිය බව කියන ඉහත වාක්‍යය අප විසින් ජේසුගේ උපත සිහිගන්වන්නට පල්ලියේ නිතර කියවන වාක්‍යයකි. එයින් ගම්‍ය වන්නේ එදා මර බියේ සිටි ජනතාවට, අඳුරේ සිටි ජනතාවට ජේසු තුමාගේ උපත ආලෝකය රැගෙන ආ බවයි. එදා සිටියේ බලාපොරොත්තු සුන් වූ ජනතාවකි. එදා පැවති රෝම අධිරාජ්‍ය හා පාලක පූජක පැළැන්තියේ ආධිපත්‍ය විසින් ජනතාව තලාපෙළා පීඩාවට පත්කරමින් තිිබිණි. ඒ නිසාම ජනතාව අඳුරේ ගිළී සිටි බව කිව හැකි ය. ඉසයියස් දිවැසිවරයගේ කතාව අදට ගැළපෙන සේ කියන්නේ නම් අඳුරේ වෙසෙන ජනතාවක් ලංකාවේද, සිටි අතර මේ මොහොතේත් සිටිනු දැකිය හැකි ය.

2022දී අරගල සමයේ ගාලුමුවදොර රැස්වුණු ජනතාවද, ප්‍රකාශ කරනු ලැබුවේ පාලකයින් විසින් තමන්ව අඳුරේ මං මුලාකරවන ලද බවයි. තමන්ගේ සිහින උදුරාගත් බව හා අනාගතය විනාශ කළ බවයි. ඒ නිසාම එකී තරුණ තරුණියන් බොහෝ දෙනකු විශ්වාස කරනු ලැබුවේ ඉඩකඩ ලද මොහොතක රටින් පිටවීමයි. රට අතහැර යාමයි. එසේම මෙම ජනතාව විසින් ඉල්ලනු ලැබුවේ ක්‍රම වෙනසකි. එදා හෙරොද් යටතේ, පීඩක නායක පූජකවරුන් යටතේ පුරාණ රෝමයේ පැවති සමාජ ක්‍රමය තුළ ජනයා මරණ බියේ සිටියා සේම අපේ රටේ තරුණ ජනයාත් අනාගතයක් නොපෙනෙන අඳුරෙන් මිදීමට ක්‍රම වෙනසක් බලාපොරොත්තු විය. ඒ නිසාම අලුත් බලාපොරොත්තුවක්, වෙනසක් අවශ්‍ය බව අවධාරණය කෙරිණි. එනම් මෙරටද, නව උපතක් ඇති විය යුතු බවට ජනතාව අපේක්ෂා සහගත විය.

ජේසුතුමන්ගේ උපත සිදුවන්නට යම් පිරිසක් විසින් දැවැන්ත දායකත්වයක් දුන් බව කිව හැකි ය. මරියා මව්තුමිය හා ජෝෂප් විසින් ජේසුතුමන්ගේ උපත වෙනුවෙන් වූ සූදානමද එහෙම ය. ජේසුගේ මව වීමට මරියා කැමති විය. එනම් දෙවියන්ගේ දාසියකවීමට කැමැත්ත පළකරමින් ඒ වෙනුවෙන් කැපවීමට ඇය තීරණය කළා ය. ජෝෂප් පවා මෙහිදී අර්බුදයකට මුහුණදෙන ලදී. ගැබ්ගෙන සිටින මරියාව තමන්ගේ භාර්යාව ලෙස පිළිගැනීමට ඔහු විසින් සිත එකඟ කර ගැනීම එවැනි කැපකිරීමකි. කෙසේ වෙතත් දේව කැඳවීමකට අනුව කෙරෙන දේව කාර්යයක් බැවින් දෙදෙනාම ඊට එකඟව ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්නට වූහ. නීතිමය වශයෙන් මරියා විවාහ කරගෙන මෙම දරු උපතට දායකත්වයක් දෙන්නට ජෝෂප් ඉදිරිපත් විය. මෙම සංසිද්ධිය මතු පිටින් කියවීමට වඩා බරපතළ සංසිද්ධියක් බව කිව යුුතු ය. ඔවුන්ට ජේසු බිලින්දාත් අරගෙන රටින් පලායන්නට පවා සිදුවිය. මෙය බරපතළ ජීවන අත්දැකීමකි.

තවත් සිතිය යුතු කාරණයක් නම් ජේසුස්ගේ උපත බලකාමීන්ට සිදුවූ තර්ජනයක් බව ය. පාලක හෙරෝද් විසින් ජේසුව මරා දැමීමට තීරණය කරන ලදී. ජේසුගෙ උපත බැලීමට ගිය ශාස්තෘවරුන් ජේසු දැක බලාගැනීමෙන් පසු යළි මාලිගාවට එන ලෙස හෙරොද් විසින් නියෝග කළද, ඔවුන් එම නියෝගය මගහැර යන ලදී. ඒ, සිදුවිය හැක්කේ කුමක්දැයි අනුමාන කළ නිසා ය. පාලකයින් ජේසුගේ උපත වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලදී. පාලක හෙරොද් විසින් ජේසුගෙ උපත සැලවූ වහාම අවුරුදු 2ට අඩු සියලුම පිරිමි දරුවන් ඝාතනය කරන්නට අණ දෙන ලද්දේද, ඒ නිසාම ය. මේ අයුරින් ක්‍රම වෙනසකට යාමට ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණද, එය ඇතැමුන්ට තර්ජනයක් බැවින් එම උපත වැළැක්වීමට නොගත් උත්සාහයක් නැත. පාලකයින්ද, පාලකයින්ගෙන් යැපෙන වන්දභට්ටයින්ද අලුත් වෙනසකට සූදානම් නැත.

ජේසුගේ උපත සිදුවූයේ සැලැස්මකට අනුවය. එය දේව සැලැස්මකට අනුව සිදුවූවක් බව කිව යුතුය. සමාජයට ලෝකයට අලුත් ආලෝකයක් ගෙන ඒම ජේසුගේ අරමුණ විය. සාධාරණ ලෝකයක් බිහිකිරීම අරමුණ හා වගකීම විය. එහෙත් එවැනි සාධාරණ ලෝකයක් ඇති කිරීමට ඇතැමුන් කැමති නැත. අසාධාරණ අයුරින් ජීවන චර්යාවන් ගොඩනැඟුණු අය සාධාරණ සමාජයකට කැමැත්ත නොදක්වයි. දූෂණයෙන්, වංචාවෙන්, කොමිස් ගැහිල්ලෙන් ජීවත් වන අය එම ක්‍රමයේ නිමාවක් දැකීමට කැමති නොවීම ස්වභාවිකය. පාදඩ ක්‍රමය සෑදී ඇත්තේ පාදඩයින් ආරක්ෂා කිරීමට ය. දේව කැමැත්තට අනුව පවතින ක්‍රමය පරාජය කිරීමට මෙලොව යුක්තිය හා සාධාරණත්වයේ සමාජය බිහිකරන්නට ක්‍රියා මාර්ග තේරීම පහසු නැත. අනෙක් අතට එම යුක්තියේ හා සාධාරණත්වයේ සමාජය බිහි කරන්නට නම් දෙවියන් මනුෂ්‍යයකු බවට පත්විය යුතුය. මනුෂ්‍යයන් අතර ඉපදිය යුතුය. ජේසුතුමන් දේවත්වයේ සිටියදීම ජනතාව අතර ඉපදුණු බව කිව යුතු ය. අඳුරේ සිටින ජනතාවට, මරණ බියේ සිටින ජනතාවට ආලෝකයක්වීමට ජේසුතුමන් මෙලොවට බිහිවිය. මෙම සිතුවිල්ල ලොව සියලුම නායකයින්ට වැදගත් ය. ජනතාවගෙන් බැහැරව ජනතාවට නව උපතක් ආලෝකයක් වෙන්නට නොහැකි ය. ඒ නිසාම සියලුම නායකයින් අලුත් විකල්ප ලෝකයක් ගොඩනඟන්නේ නම් දෙවියන් මනුෂ්‍යයකු ලෙස මනුෂ්‍යයින් අතරට පැමිණි අයුරින්ම මනුෂ්‍යයින් අතර සිටිය යුතුය. ජනතාවට ඇහුන්කන්දීමට, ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නට හා විසඳුම් සැලසුම් කරන්නට ජනතාව අතර සිටිය යුතු ය. ඔවුන්ට දිගින් දිගටම ජනතාව සමඟ රැඳී සිටින්නට යාන්ත්‍රණයක් නැති නම් අනිවාර්යයෙන්ම කවුරුන් වුවද, එවැනි නායකයින් නිරායාසයෙන් ප්‍රභූ පංතියට ඇතුළුවීම සිදුවේ. කොයි නායකයාටත්, ප්‍රභූවරයෙකු වීමට ස්වභාවික පෙළඹුමක් ඇති බව අප තේරුම් ගත යුතු ය.

එබැවින් නායකයින් ප්‍රභූවරයින් නොවී එම තත්ත්වය මගහැර ගනිමින් ජනතාව අතර ජනතා නායකයකු ලෙස සිටිය හැක්කේ නත්තලේ ගැඹුරු අරුත තේරුම් ගත්තේ නම් පමණි. අසාධාරණයෙන් සේවය කරන අය එයින් මිදීමට කැමැති නොවේ. යුක්තිය හා සාධාරණත්වයෙන් යුතු සමාජයකට කැමති නැති පිරිස් සිටී. මෑත කාලයේ ජනාධිපති අරමුදලට සිදුවූ දේ ගැනද, සලකා බලන විට එය පැහැදිලි ය. දුගී දුප්පත්, අසරණ රෝගියකුට ඉතා විශාල මුදලක් වියදම් කර ප්‍රතිකාර ලබාගැනීමට හැකියාවක් නොමැති බැවින් එවැනි අවස්ථාවන්වලදී ජනාධිපති අරමුදලෙන් යම් සහනයක් ලබාගැනීමට හැකියාව ලැබිණි. එම අරමුදලද, ජනතාවගේම බදු මුදලින් නඩත්තු වන අරමුදලකි. එහෙත් එමගින් අයුතු ප්‍රයෝජන ලබා තිබුණේ දේශපාලනඥයින් පිරිසකි. එවැනි අවස්ථාවන් හෝ ප්‍රතිලාභයන් නැති කර ගැනීමට ඔවුන් අකමැති ය.

රාජ්‍ය සැදිය යුත්තේ දෙවියන් ලබාදී ඇති සම්පත් සෑම මිනිසකුටම සාධාරණ ලෙස බෙදීයන ලෙස ය. නමුත් ආරම්භයේදීම කිවා සේ අද වෙළෙඳපොළ හා වෙළෙඳ මාධ්‍ය විසින් නත්තල තමන්ට ලාභ උපයන්නට, තවදුරටත් වස්තු හරිහම්බකරගැනීම සඳහා ලැබෙන අවස්ථාවක් ලෙස සලකන බව සැබෑ ය. ඒ නිසාම ඔවුන් නත්තලට මුවාවී රට තුළ පරිභෝජනවාදයේ ආකල්ප ගොඩනඟන්නට විශාල වශයෙන් මැදිහත්වීම් කරන බවද සැබෑ ය. ඒ නිසාම නත්තලේ සැබෑ අරුත මැකී යන බව කිව යුතු ය. මේ අයුරින් නත්තලේ සැබෑ අරුත මැකීයාම වළක්වා ගැනීමට අද දවසේ කිතුනු කණ්ඩායම්වලට, කිතුනු සභාවලට හැකියාවක් නැත. වෙළෙඳපළ ඉදිරියේ ඔවුන් සියලුදෙනා අසරණ ය. නොවැම්බර් මාසයේ සිටම වෙළෙඳුන් වෙළෙඳ කටයුතු සඳහා නත්තල යොදාගැනීමට සැලසුම් කරන අයුරු දකින්නට ලැබේ. බහුභාණ්ඩවාදය රට තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කරනු පෙනෙයි.

මේ අනුව විමසා බලනවිය නත්තල ගැන පමණක් නොව ක්‍රිස්තු චරිතයේම සැබෑ අරුත මිනිසුන් තුළ දැකිය නොහැකි ය. නත්තල යනුවෙන් මිනිසුන් අතර ඇත්තේ මිත්‍යාවකි. ඒ නිසාම කිතුනු සභාවට අද දවසේ විශාල වගකීමක් තිබේ. ජේසු ගැන, ගැලවීම ගැන, විමුක්තිය ගැන, සභාව ගැන, පූජකවරය ගැන, පවත්නා සියලුම මිත්‍යාවන් ගෙන් ජනතාව ගලවා ගැනීමට කටයුතු කළ යුතු ය. එහෙත් සභාවේ එවැනි විශේෂ උනන්දුවක් ඇති අය දැක ගැනීමට අසීරු ය. ඉතාම සුලු පිරිසක් මෙම ගැඹුරු තේරුම ජනතාව අතරට ගෙනියන්නට උත්සාහ දැරුවද, එය ආයාසකර කටයුත්තක් බව කිව යුතුම ය. නත්තලදී පමණක් නොව සෑම ආගමික උත්සවයකදීම ක්‍රිස්තුස් වහන්සේගේ නිවරදි ධර්මය ජනතාව අතරට ගෙනයාමට හා මිත්‍යාවෙන් ජනතාව මුදවා ගැනීමට කිතුනු සභා විසින් කටයුතු කළ යුතු ය. ජනතාවට මේ ලෝකයේ තමාගේ කාර්යය ඉටු කිරීමට හැකියාව ලැබෙන්නේ මෙලෙස මිත්‍යාවෙන් මුදවා ගත හොත් පමණි. අද කිතුනුවාට එවැනි වැටහීමක් නැත. අද කිතුනුවා බලාගෙන සිටින්නේ ආත්මය ගලවා ගැනීමට පමණ ය. එනම් මරණයෙන් පසුව ස්වර්ගයට යන්නට ය. නමුත් ජේසුගෙ දහම තුළ ඇත්තේ මරණයෙන් පසු ස්වර්ගයට යාමක් ගැන නොව මොලාව තුළදීම ස්වර්ග රාජ්‍ය අත්දකින්නට හැකි බවයි. මිත්‍යාවන්හි එල්බ ගෙන සිටින අයට එය දැකිය නොහැකි ය. අද දවසේ කිතුනු සංස්ථාව මුහුණපාන සැබෑ ගැටලුව එය යි.

සටහන – ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT