විරාජිනි තෙන්නකෝන් විසින් රචිත ‘කැමෙලියා’ කෘතිය කියවීමෙන් පසුව හදවත බරපතළ දෙදරීමකට ලක්විය. ජෙෆ්රි ද සේරම් නම් ආදරය අහිමව වැඩුණු ඒ නිසාම ළතෙත් හැඟීම් වෙතින් ඉවත හළ බරපතළ හිස්තැනක් විසින් ගොඩනඟන ලද උද්ධච්චකමින් ද, පරපීඩකත්වයෙන් ද හෙබි මනුෂ්‍යයාගේ රටාගත දිවිසැරිය නිසා නොවේ ය.
ආදරය කුතුහලය පවුල හා බැඳුම සමඟ නොනැසෙන දිරියක් මිටින් ගෙන උපන් යෞවනිය, ආදරය ද, සරාගය ද අහිමිව වෙනත් අභිලාෂයක් ජීවිතය කොට ගත් ඇනීටාවත් ආදරයේ අදිසි හස්තය විසින් මහපොළවට අ’තැර දමන ලද කැමෙලියාගේ විපරිණාමය නිසාවත් නොවේ ය. 1823 සිට තේ වත්තකට ඇද බැඳ පරපීඩකත්වයේ ගොදුරු බවට පත්ව වසර සියගණනක් තිස්සේ සූරාකෑමට හසුව අදත් නොවෙනස් පීඩාව ම අත්විඳින වතුකරයේ ගැහැනුන්, මිනිසුන් සහ දරුවන්ගේ වේදනා කටු පොකුර නැවත නැවතත් හදවත තුවාල කරන බැවිණි. මනුෂ්‍ය චිත්ත සන්තානයේ සොබාව පිළිබඳ කදිම සිතුවමක් පොත තුළ ඇතත්, සියල්ල පරයා නැඟී සිටින්නේ තේ හා බැඳුණු තිත්ත කතාවක සාරය ය.
පසුගිය සතියේ ලියූ “ ‘ජාතිය’ අලවා මනුෂ්‍යත්වය ගැලවීම” ලියද්දී ‘ජාතිය’ වෙනුවට ‘ජාතිකත්වය’ යොදා සියල්ල “ශ්‍රී ලාංකික” යැයි නම් කිරීම කෙතරම් සාධරණදැයි මිතුරකු හා කළ සංවාදයේ දි ඔහු එහි යම් සාධනීය බවක් පෙන්නුම් කළ ද, ඊට එරෙහි ප්‍රති තර්කයක් ඉදිරිපත් කළේ ය.
“ රටෙහි වසන සියල්ලෝ ශ්‍රී ලාංකික යැයි කී පමණින් රටෙහි වෙසෙන සියල්ලන්ට ම සමාන අයිතිවාසිකම් හිමිවේ ද? යන්න ඔහුගේ තර්කය විය. විශ්ෂයෙන් ම වතුකරයේ ජනතාව ‘ශ්‍රී ලාංකික’ වූවත්, ශ්‍රී ලාංකික වීම තුළ අනෙකුත් මිනිස්සුන්ට ඇති අයිතිවාසිකම් ඔවුන්ට තිබේ දැයි ඔහු විමසී ය. ඔවුන්ගේ හිසට ඇති වහල පවා අයිති වත්තේ වැඩ තාක් පමණක් බවත්, එය ඔවුන් වත්තට බැඳ තබන වියගහ බවත්, ඔහුගේ අදහස විය.
මලයග දෙමළ, උඩරට දෙමළ, ඉන්දියානු දෙමළ ලෙස හැඳින්වෙන මේ මිනිස්සු සිංහල මහා ජාතිය විසින් ද උතුරු නැඟෙනහිර ස්වභාෂාව කතා කරන ශ්‍රී ලාංකේය දෙමළ ජාතිය විසින් ද නොතකා හරින ලද, කළු කරන ලද තවමත් ලංකාවේ ජාතික ආදායමින් සැලකිය යුතු කොටසක් ලබා දෙන මිනිස්සු කොටසකි. 1911 පැවති ජන සංගණනයෙන් පසුව සිට ‘ ඉන්දියානු දෙමළ’ කරන ලද ජනකොටසකි. 1931 ඩොනමෝර් කොමිසමින් සර්වජන අයිතිය ලැබ, 1948දී ගෙන ආ පුරවැසි පනත මගින් පුරවැසි බවත්, එම වසරේ දී ම ගෙන ආ ඡන්දබල පනත් මගින් ඡන්ද බලයත් අහිමි කරන ලද ජන කොසකි. 1942 දි ජපන්නු කොළඹට බෝම්බ දමද්දී, ඉන්දියානු වෙළෙඳුන් ඉන්දියාවටත්, සිංහල වෙෙළඳුන් දකුණටත් පලායද්දි නොසැළී රබර් වතුවල හා තේ වතුවල වැඩ කළ ජන කොටසකි. 1964 සිට 1984 දක්වා සිට ‘සිරිමා ශාස්ත්‍රි’ ගිවිසුම මගින් ඉන්දියාවට පටවන ලද, පරම්පරා තුන හතරක් ම ලංකාවේ ම ඉපිද ලංකාවේ කඳුකරය පමණක් ම සිය භූමිය කරගත්, වැළපෙමින් තම හිතෛෂීන් අතෑර තමන් කිසිදා නොදුටු බිමක් වෙත පිටුවහල් කරන ලද ජනතාවකි. එහෙත් තවමත් ජාතික ආදායමින් සැලකිය යුතු කොටසක් රටට ගෙන එන ජනවර්ගයකි.
වත්තේ සේවයෙන් මිදී වෙනත් තැන්වල රාජකාරි කිරීමට සමහරුන් කටයුතු කොට තිබුණි. ඇතැමුන් පළාත් පාලන ආයතන වෙත කම්කරුවන් ලෙස සේවයට එක් වූහ. එහෙත් 1988 නොවැම්බරය වන තුරුත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් විශ්‍රාම වැටුප ලැබීමටවත් අයිතියක් නොවී ය. එනිසා ම ‘පළාත් පාලන සේවයේ යෙදී සිට විශ්‍රාම ගැන් වූ සහ ඉදිරියේ ද විශ්‍රාම ගැනීමට නියමිත ඉන්දියානු සම්භවයක් ඇති සේවකයින්ට ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවීමේ හේතුව හැර අනෙකුත් සැම අයුරකින් ම විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන්නේ ‘තම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම සඳහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැව් දන්වනු කැමැත්තෙමි’ ලෙස එකල පළාත් පාලන සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා චක්‍රලේඛයක් ගසයි. එතැන් සිට ඔවුන්ට විශ්‍රාම වැටුප හිමි ය. එහෙත් අදත් ඔවුන් හුදකලා ය.
වත්තෙන් මිදීමට නොහැකී අම්බිගා මෙන් බහුතරයක් තේ කූඩය පිට අලවාගෙන ඔවුහු මෙරට ජාතික ධනය ගෙන එති. අායෙමත් සේරම්ගේ අහංකාර මුහුණ සහ අශ්ව හදවත් සුසිදුර අතරින් පෙනෙන කළු කරන ලද මිනිස් පොදියක් හෘදය දවාලයි. ඒ අතර කඳුකරවාසි මිත්‍ර මලයෙකු මා අමතයි. “ අක්කා අපි අවුරුදු 200ක් තිස්සෙ මෙහෙ ඉන්නෙ. ඇයි අපිට තට්ටු ගෙවල් දෙන්නෙ. අපිට මේකේ බිං අඟලක්වත් අයිති නැත්ද? අපි ඉන්දියාවෙද?” ඔහු අසයි.
සැබවින් ම අමාත්‍ය මණ්ඩලයකට කළ නොහැක්කක් නොමැත. මලයග දෙමළ වැසියා සැබෑ ශ්‍රී ලාංකිකයකු බවට පත් කිරීම වහා සිදු කළ යුත්තකි.
හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ