අපේ අධ්‍යාපන ක්‍රමය වගේම සංවර්ධන වැඩපිළිවෙළත් සකස් වෙලා තියෙන්නෙ බටහිර රටවල් අත්පත් කරගෙන තියෙන දියුණුව හඹා යන විදියටයි. මෙහිදී අධිරාජ්‍යවාදය සහ පශ්චාත් අධිරාජ්‍යවාදය හරහා මේ රටවල් අත්පත් කරගත්ත සංවර්ධනය තවමත් ලෝක ධනපති ක්‍රමයේ පරිවාරයේ පවතින රටක් ලෙස අපට අත්පත් කරගත හැකිද කියන එක අප නිකමටවත් සිතා නොබලයි.
ලෝක ධනපති ක්‍රමය හැදිලා තියෙන්නෙම පරිවාරයේ රටවල් පරිවාරයේත්, ධනවාදී කේන්ද්‍රයේ තියෙන රටවල් කේන්ද්‍රයේත් පවත්වාගෙන යන්නමයි. නමුත් මේ ලිබරල් වෙළෙඳපොළ මූලික කරගත් ලෝක ධනපති ක්‍රමයත් අද වන විට බිඳවැටෙමින් තිබෙනවා. ආසියාවේ ව්‍යාඝ්‍රයින් ලෙස හඳුන්වන හොංකොං, සිංගප්පූරුව, තායිවානය සහ දකුණු කොරියාව වැනි රටවල් 1950-1990 කාලය තුළ වේගවත් කාර්මික සංවර්ධනයක් අත්පත් කරගත් බව සැබෑවක්. මේ වන විට විශාල වෙළෙඳපළවල් වන ඉන්දියාව සහ චීනය ලෝකය තුළ දැවැන්ත බලවේගයන් ලෙස ඉදිරියට එමින් සිටිනවා.
ශ්‍රී ලංකාව කියන කුඩා රට මේ සංසිද්ධිවල ඇත්තේ කොතැනද? අපට එවැනි කාර්මික සංවර්ධනයක් අත්පත් කරගත හැකිද? අප රටක් ලෙස 2022 දී, දැවැන්ත ආර්ථික කඩා වැටීමකට මුහුණ දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති රෙගුලාසි වලට යටත්ව මේ වන විට ලංකාව මේ තත්ත්වය යම්තාක් දුරටකට පාලනය කරගෙන යනවා. නමුත් මේ විසඳුම් ඇත්තටම තිරසාරද, යන්න පැන නඟින ගැටලුවක් ලෙස තවදුරටත් ඉතිරිව තිබෙනවා.
ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් මේ කාලයේ ගතකරමින් සිටින්නේ සංක්‍රාන්ති සමයක්. වෙළෙඳපළ ක්‍රමය සහ පරිභෝජන මනෝභාවය, ලෝකය අනිවාර්ය විනාශයක් වෙත ගෙන යමින් තිබෙනවා. මේක අපිට පාරිසරික, සමාජ, දේශපාලනික සහ ආර්ථික ගැටලු ලෙස දැකීමට සෑම තැනකම හැකියාව තිබෙනවා. මේ ගැන පහුගිය සතියේ “ලිබරල්වාදය ඉවරයිද” කියන ලිපියෙන් සාකච්ඡා කළා.
ලෝක විනාශයෙන් බේරෙන්නට, ජීවන රටාවක් ම මූලික ලෙස වෙනස් කළ යුතුයි කියන එක තමයි මගේ අදහස. අද ලෝකයේ තිරසාර සංවර්ධන වැනි පරිසරය පිළිබඳ කතිකාවත් වල දී අපගේ අවසාන විසඳුම ලෙස ප්‍රජා මූලික ජීවන රටාවක් ගැන සාකච්ඡා කෙරෙනවා. මේ අලුත් පන්නයේ විසඳුම් ලංකාවේ තවමත් දැකිය හැකි ග්‍රාමීය ජීවන රටාව මොහොතකට සිහිපත් කරනවා. දශකයකට දෙකකට කලිනුත් ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ප්‍රාදේශීය සැපයුම් දාමයක, ප්‍රජා සහභාගීත්වය ඇතිව ස්වයංපෝෂී ආකාරයකට ජීවත් වුණු බව ඇත්තක්. ගමේ මරණාධාර සමිතිය, ශ්‍රමදාන, අත්තම් ක්‍රමයට වැඩ කිරීම සහ භාණ්ඩ හුවමාරු කරගෙන පාවිච්චි කිරීම මේ වගේ ජීවන ක්‍රමයකට උදාහරණ ලෙස පෙන්වාදිය හැකියි.
තායිලන්තයේ sufficiency economy philosophy එහෙම නැත්නම් “පමණ දැනගෙන ජීවත්වීමේ අර්ථක්‍රමය” කියන්නෙ ලෝකය මුහුණ දෙන මේ ගැටලුවලට තායිලන්තයේ මිනිසුන් සියවස් ගණනාවක් ජීවත්වුණ ක්‍රමය තුළින් ගොඩනැඟුණු ජීවන ක්‍රමයක්. මේ ගැන අප සමඟ සාකච්ඡා කළ තායිලන්ත ජාතිකයකු කියා සිටියේ තිරසාර සංවර්ධනය කිව්වම ඒක සාමාන්‍ය මිනිසුන්ට දුරස් බවක් දැනෙන සංකල්පයක් වුණත්, තායිලන්තයේ මහපොළොවෙන්, තම ජීවන රටාවෙන්ම උරුම වුණු සංකල්පයක් නිසාවෙන් මේ පමණ දැන්ගෙන ජීවත්වීමේ අර්ථ ක්‍රමය තායි ජාතිකයින්ට පහසුවෙන් තම හදවතින්ම ක්‍රියාත්මක කළ හැකි සංකල්පයක් බවයි.
අප තවමත් සංවර්ධනය සහ රාජ්‍ය පාලනය කරන්නට හදන්නේ බටහිරෙන් ඉගෙන ගත් සංකල්ප භාවිතා කරමින්. නමුත් තායිලන්තයේ උදාහරණයෙන් පෙනෙන්නේ අපට වඩාත් දැනෙන ප්‍රජා සහභාගීත්වය වැඩි විසඳුම් සොයා ගත හැක්කේ අපගේ ප්‍රජාව තුළින්ම බවයි.
ජනතා විමුක්ති පෙරමුණ 2004-2005 කාලයේ ඇමති ධූර දරනවිට ශ්‍රමදාන වැඩපිළිවෙළවල් රාජ්‍ය පාලනයට බද්ධ කරගත්විට ඔවුන්ට එල්ල වූ එක විවේචනයක් වූයේ ජවිපෙය ආණ්ඩු කරන්නේ ශ්‍රමදාන ක්‍රමයට බැවින් ඔවුන් රාජ්‍ය පාලනයට නුසුදුසු බවයි. ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගෙන ගතවූ මාස කිහිපය තුළ එවැනි වෙනස් වැඩපිළිවෙළක් දකින්නට ලැබෙන්නෙ නෑ. අසල්වැසියාගේ මරණයට, රටේ ස්වභාවික ආපදාවන්ට සහ පිළිකා රෝහලට පෙට් ස්කෑනරයක් ගැනීමට පවා මැදිහත් වන මිනිසුන් ජීවත් වන රටකට රාජ්‍ය පාලනයට වගේම සංවර්ධනයටත් විකල්ප ප්‍රජා මූලික ක්‍රමවේදයන් වලින් උගත හැකි පාඩම් මොනවාදැයි සොයා බැලීම ලෝකයටම අලුත් තිරසාර සංවර්ධන මාවතක් පෙන්වාදීමක්ද විය හැකියි. ප්‍රජා මූලික සුභසාධන රාජ්‍යයක් ලෙස නිරෝගී සහ නිවහල් පරම්පරාවක් බිහිකිරීමටත්, ලෝකයටම මඟ පෙන්වීමටත් ලංකාවට විභවතාවක් තිබෙන බැව් මගේ විශ්වාසයයි.
ආචාර්ය කෞෂල්‍යා හේරත්