නත්තලය..! එය පැමිණ ඇත. විමුක්තිදායකයාණන් ගේ උපත සිහි කරමු. ඒ අතර සිහි නැඟෙන මරණයේ මූර්තියෙකි. අපමණ වේදනා කුරිසියෙහි බර දැරූ සිරුර විනිවිඳ පසාරු වූ යකඩ ඇණ තුවාලයෙන් ගැලූ රුහිරෙන් මුදාගත් ජේසුස් ය. මව් ඇකයෙහි ය. කලා කෘතිය ලෝ පූජිතය. නිමැවුම්කරුවා මයිකල් ආන්ජිලෝ ය. පිහිටුම වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ය. නාමය ‘පියෙටා’ (Pietà) ය.
පියෙටා අනුව යමින් කොරියානු සිනමාවේ අසහාය අමුර්ත ආඛ්‍යාන කරුවා වූ ‘කිම්-කි-දුක් ‘ (Kim Ki-duk, 1960-2020) වෙනත් මානයකින් එය තිරය මත විකසිත කළේ ය. සමකාලින කොරියානු වණික් සමාජය තුළ නීච බවේ කළු කුහරය තුළට අද වැටෙන මිනිස් ජීවිතය පිළිබඳ කියැවෙන එය එනමින්ම වන (Pietà-2012) චිත්‍රපටය යි.
‘දුක්’කිසි විට සිනමා පටය මත ආන්ජිලෝනියානු මූර්තිය සමෝධාන කරන්නේ නැත. ඔහු ප්‍රති -නිර්මිතයක් ගෙන එයි. එහි මව් ඇකයෙහි සිටිනුයේ දෙවියන් නොවේ. ‘සාතන්’ ය. එම චරිතය සාතන් යැයි නාමකරණය කරනුයේ නරඹන්නිය නොව, සම්මුඛ වන සෙසු පාත්‍රයා ය. ඒ ඇයි ? නිරයට දිවෙන මාවත් සේ පෙනෙන අතුරු වීදි සමූහයක් කොරියානු නාගරික පරිසරයෙක පසෙක හමුවේ. එහි යකඩ ලියවන යන්ත්‍ර-සූත්‍ර ශිල්පයේ ශ්‍රමය වගුරුවන සුළු ව්‍යවසායකයෝ ය. ඔවුන් මූල්‍ය සමාගම් ණය මත බිහිවෙයි. පොළිය මත දියවෙයි. අවසන ආපදා රක්ෂණයේ පිහිට පතා සිරුරාංග සිඳ ගනියි. එක්කෝ එම ඉරණමට ගෙන යන මූල්‍ය සමාගම් සඳහා සේවය සපයන වධකයෙකු බලහත් කාරයෙන් ඔවුන්ගේ දෑත් සිඳ දමයි. චිත්‍රපටයේ පෝස්ටරයේ මව් උකුළෙහි නිදන චරිතය ඔහුය. වධකයා ය. යක්ෂයා ය. සාතන් ය.
දෙවියන් මෙන්ම යක්ෂයාගේ ද, නිමැවුම්කරුවා මිනිසා ය. සිනමකාර ‘දුක්’ යක්ෂයාගේ මානුෂික පස ද හසුකර ගනී. යක්ෂයා බරපතළ අහිමිවීමකට ලක්ව ඇත. ඒ අවජාතක අවමානය උරුමකොට, හැරයෑමේ ඉරණමකට, ජීවිත කතාවේ එක් පරිච්ඡේදයක දී සිය මව ට සමාජීය සත්තාව මඟින් උරුම කොට ඇති බැවිනි. එහෙත් තීරණාත්මක තැනෙකදී ඇය යක්ෂයා නොහොත් ‘සාතන් හංවඩුව’ ප්‍රේක්ෂකයා අභිමුව ගළවා මිනිස් සාරය විදාරණය කරන්නී ය.
එසේ සිනමාකරුවා සමස්ත සිනමා කාලය ප්‍රේක්ෂකයාට විඳින්නට දී , අවසන නව අර්ථයක් ලෙස නිපදවන්නේ නූතන ‘පියෙටා’ව යි. එය මූර්තිමත් වන්නට නම් අවධි කරගත යුතු වන්නේ ආගමක් නොව නැරඹුම් දැක්ම තුළ අසුවල් ආගම යැයි ඉරි ගසා වෙන් නොකළ යුතු, හදවත නම් බැසිලිකාවයි. එහි මිනිස් බවයි.

කිම්-කි-දුක්ගේ චිත්‍රපටය (Pietà-2012)
විකුම් ජිතේන්ද්‍ර