Home » හදිස්සිම නම් හෙමින් යන්න

හදිස්සිම නම් හෙමින් යන්න

by mahesh
December 25, 2024 1:00 am 0 comment

‘හදිස්සිම නම් හෙමින් යන්න’ එය බොහෝ කලකට පෙර කියවා තිබූ අදහසකි. එකී අදහසේ තිබූ අපූර්වත්වය සහ නිර්මාණශීලිත්වය නිසාම එය තවමත් මතකයේ රැඳී පවතියි. සත්තකින්ම හදිසි වූ පමණින් අපට අපගේ අරමුණු කරා ඉක්මනින් ළඟා විය නොහැකිය.

‘ඉක්මන් කොටයි’ – ‘කලබල වූ විට කොරොස් කටේවත් අත දමා ගැනීමට බැරිය’ යනුවෙන් ජනප්‍රවාදයේ කියමන් පවතියි. මේවා සමස්තයෙහි අදහස අපට කලබල වූ පමණින් යමක් ඉටු කරගත නොහැකි බවයි.

මෙකී කලබලය දැන් සමාජ උවදුරක් තරමට වර්ධනය වී තිබේ. අපට ඉවසුම් නැත. ඉතා ඉක්මනින්, ක්ෂණික ගමනාන්ත අපේක්‍ෂා කරන්නෝ බහුලව වෙති.

ඉහත අදහස් සියල්ල ලියන්නට මූලික වූයේ පෙරේදා 23දා අප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියකි. ‘පැය විසිහතරට රිය අනතුරු දහයයි; මරණ දහතුනයි’ යනුවෙන් එහි සඳහන් විය.

මෙය සෙසු මාධ්‍ය ද, රූපවාහිනී මාධ්‍යයද ඉතා ඉහළ ප්‍රමුඛත්වයකින් යුතුව වාර්තා කළ සංවේදී පුවතක් විය. හැටන් මාරක බස් අනතුර ඒ සඳහා නිමිත්ත සැපයූ කාරණයයි.

සත්තකින්ම දෛනිකව මෙලෙස රිය අනතුරුවලින් මිනිසුන් මියයෑම පිළිබඳ අපට කළ හැක්කේ කුමක්ද?

පොලිස් රථ වාහන කොට්ඨාසය පවසන ආකාරයට දිනපතා සිදු වන රිය අනතුරුවලින් විස්සකට ආසන්න සංඛ්‍යාවක් මියයති. එය උපකල්පිත අගයක් සේ සලකා ගණන් බැලුවහොත් රිය අනතුරු නිසා මසකට මියයන ගණන 600 ඉක්මවයි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සංඛ්‍යාලේඛන දක්වන අන්දමට රිය අනතුරු නිසා වසරකට මියයන සංඛ්‍යාව එකොළොස් දහසකට වැඩිය. සාපේක්ෂව ගතහොත් මේ අගය දෙවැනි වනුයේ යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට පමණි. එහෙත් යුද්ධයෙන් මියයන මිනිසුන්ට මෙන් රිය අනතුරු නිසා මියයන පිරිස කෙරෙහි බරපතළ සමාජ අවධානයක් තවමත් හිමි වී නැත.

රිය අනතුරු යනු ජනමාධ්‍යයට සංවේදී පුවතකි. එය උත්කර්ෂයෙන් යුතුව ග්‍රාහක සමාජයේ මනස කම්පනය වන ආකාරයට වාර්තා කළ හැකිය. එහෙත් දෛනික රිය අනතුරු ‘කඳුළු කතා’ ලෙස වාර්තා කිරීමෙන් පමණක් මේ තත්ත්වය වළක්වා ගත හැකි ද යන ගැටලුව අපට තිබේ.

අප රටේ අධිවේගී මාර්ග පද්ධතියක් තිබේ. එපමණක් නොව, රටේ මාර්ග පද්ධතියෙන් බහුතරයක් කාපට් කර තිබේ. ඉකුත් පාලන සමයන්හිදී පාලක පන්තිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල නිරත වූයේ එය ඇති තරම් කොමිස් කුට්ටි කඩා ගැනීමට හැකි එකක් වූ හෙයිනි. එහෙත් අධිවේගී මාර්ග පද්ධතිය හෝ කාපට් මාර්ග පද්ධතිය ඉදි කර ඇත්තේ මෙරට රියැදුරන්ට විනයකින් තොරව හැටට හැටේ පිම්මේ යෑමට නොවේ.

රියැදුරු රැකියාව යනු ගෞරවනීය වෘත්තියකි. එහෙත් රියැදුරු බලපතක් අතට ලැබුණු මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථවල රියැදුරන් ‘මඟමරුවන්’ ලෙස හැඳින්වූ අවස්ථා ද නැත්තේ නොවේ. ‘ජීවිත රැසක් මගේ දෑතේ’ යනුවෙන් රියැදුරු අසුන් ඉදිරිපිට ස්ටිකර් අලවා තිබුණ ද, ඒ වචනවල සමාජ වගකීම බොහෝ රියැදුරන් අවබෝධ කොට ගෙන ඇති ද යන ගැටලුව පවතියි.

පොදු මගී ප්‍රවාහන සේවාවට ගොඩ වන මගියකු සුරක්ෂිතව ගමනාන්තය කරා රැගෙන යෑමේ වගකීම රියැදුරකු සතුව පවතියි. රියැදුරු බලපත නිකුත් කිරීමේදී ඊට අදාළ විනය පිළිබඳ අවබෝධයක් ද රියැදුරකුට දෙන්නේ ඒ හේතුවෙනි. එහෙත් බොහෝ රියැදුරන් සිතන්නේ මහපාරේ රේස් යෑමට සහ පිස්සු කෙළීමට තමන්ට බලය ලැබුණු බවකි. එනිසා ‘මහ පාරේ ත්‍රස්තවාදය’ කවර හෝ තත්ත්වයක් යටතේ පිටුදැකිය යුතුව තිබේ.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පොලිස් රථ වාහන කොට්ඨාසය, සමස්ත රියැදුරන්ට පමණක් නොව, ජනමාධ්‍යයට ද ඒ හා බැඳුණු වගකීමක් පවතියි. කලක් ජාතික රූපවාහිනිය ඔස්සේ ‘පරිස්සමෙන් ගිහින් එන්න’ යනුවෙන් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ අතර, එය එක්තරා අන්දමක ධනාත්මක බලපෑමක් ඇති කළ ප්‍රශංසනීය වැඩසටහනක් ලෙස සැලකිය යුතුය.

එකකු මරාගෙන හෝ අනෙකා පරයා නැඟී සිටින තරගය පෞද්ගලික බස් සේවාවෙන් ඉවත් කළ යුතුය. පොදු මගී ප්‍රවාහන සේවාවට ලංගමය මෙන්ම පෞද්ගලික බස් ද එක සේ වැදගත් වන හෙයින් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමෙන් මේ තරගය අවම කළ හැකි වනු ඇත. එවිට මහපාරේ ගමන් කරන මිනිස් ජීවිත ‘හතළිහේ පනහේ කෑලි’ ලෙස නොව, ගෞරවනීය මිනිස් ජීවිත ලෙස හඳුනා ගැනීමට හැකි වනු ඇත. නොහික්මුණු රියැදුරන් ආකල්පමය වශයෙන් දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමෙන් තොරව ‘මහපාරේ ත්‍රස්තවාදය’ හමාර කළ නොහැකි වනු ඇත. චක්‍රලේඛ හෝ පොලිස් පොතේ නීතිවලට එහා ගිය ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ම විය යුතු අතර එය ස්වයං විනය හා බැඳුණු කාරණයකි.

එසේ නැතහොත් පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් මෙන්ම අනෙකුත් රියැදුරු ප්‍රජාව ද මහපාරේ රේස් දුවනු ඇත. එහි අවසාන ප්‍රතිඵලය වනුයේ නිශ්චිත ගමනාන්ත පුවරුවකින් තොරව අතරමඟදී ජීවිතය හමාර කිරීමට ය. එලෙස කොතරම් නම් තරුණ ජීවිත අකාලයේ මියගොස් ඇති ද?

රටක් මෙන්ම සමාජය ද යහපත් සමාජ වෙනසක් අපේක්ෂා කරන්නේ නම් ‘ස්වයං විනය’යන කාරණය අනිවාර්ය වේ. ඒ සඳහා වන සමාජ වගකීම තනි තනි සියලු පුරවැසියන් අත ද පවතින බව අපි අවධාරණය කරමු.

එනිසා පිම්මේ යන නොහික්මුණු රියැදුරන්ට පොදු ජීවිතවල සුරක්ෂිතතාව උදෙසා අපි යළිත් වරක් මෙසේ ලියා තබමු:

‘හදිස්සිම නම් හෙමින් යන්න.’

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT