Home » රනිල්ගේ ගැසට්ටුව අහවර කරමින් අනුරගේ ගැසට්ටුව අස්වසයි

රනිල්ගේ ගැසට්ටුව අහවර කරමින් අනුරගේ ගැසට්ටුව අස්වසයි

by chanaka
December 25, 2024 1:02 pm 0 comment

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන් වෙත 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් නව අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2024.05.17 දින සිට මෙතෙක් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 වැනිදා නිකුත් කෙරුණු මෙම නව ගැසට්‌ නිවේදනය මඟින් අවලංගු වී ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කළ දිළිඳු පවුලකට හිමි වූ රුපියල් 8500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමි වූ රුපියල් 15,000 දීමනාව නව ගැසට්‌ නිවේදනය අනුව පිලිවෙලින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇති අතර අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් නව ගැසට් නිවේදනය අනුවද නොවෙනස්ව පවතී.

ජනපති අනුර දිසානායකගේ නව ගැසට් නිවේදනයට අනුව සංක්‍රාන්ති පවුල් 480,000 කට 2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 5000 ක්, අවධානමට ලක්වූ පවුල් 480,000 කට 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් 5000 ක්, 2025 ජනවාරි සිට 2026 ජුනි දක්වා දුප්පත් පවුල් 960,000 කට රුපියල් 10,000 ක් සහ අන්ත දිළිඳු පවුල් 480,000 කට රුපියල් 17,500 ක් ලෙස ලබාදීමට යෝජිතය.

පවුලේ සාමාජිකයන් ගණන 2 හෝ ඊට අඩු වූ විට මෙම දිමනාවන්ගෙන් අඩක් හිමිවන බව එහි වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම 2025 ජනවාරි සිට ජුනි දක්වා පෙර පරිදිම වෙනත් හැකියා සහිත තැනැත්තන්ට රුපියල් 7500 ක්, වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500 ක් වැඩිහිටියන්ට රුපියල් 3000 ක් ලබා දීමට නව ගැසට්‌ නිවේදනයට අනුව යෝජිතය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ දින සිට මෙම නව ක්‍රම වේදයන් ක්‍රියාත්මක වන බව නව ගැසට්‌ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT