බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබී ඉකුත් 18 වැනි දින රාත්‍රී කිසිවකු විසින් සොරාගන්නා ලද ECG යන්ත්‍රය ඊයේ (22) උදෑසන රෝහල් භූමිය තුළ රෝහලට ඇතුළුවන දොරටුව අසල බිම දමා ගොස් තිබියදී සොයා ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.
පොලිතින් දවටනයක ඔතා පාර්සලයක් ලෙස සකස් කොට තිබූ එම ECG යන්ත්‍රය සමඟ රෝහලෙන් අතුරුදන් වී තිබූ ශරීරගත ඔක්සිජන් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ද එම පාර්සලය තුළ තිබී සොයාගෙන ඇත. ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ ඇඟිලි සලකුණුු අංශයේ නිලධාරීන් පැමිණ රෝහල් සේවකයන්ගේ ඇඟිලි සලකුණු සහ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ECG යන්ත්‍රය සහ ඔක්සිජන් පරීක්ෂණ යන්ත්‍රය බෙන්තොට රෝහලට භාර දී තිබේ.
රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වටිනා මෙම ECG යන්ත්‍රය ඉකුත් 18 වැනි දින රාත්‍රියේ කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය භාර හෙද නිලධාරිනිය පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව බෙන්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබිණි. මෙම රෝහලේ ආරක්ෂක නිලධාරීන් හෝ මුරකරුවන් නොමැති අතර, මෙම යන්ත්‍රය නැතිවන අවස්ථාවේ රෝහලේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අගුළු දමා වසා තිබී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.
බෙන්තොට – එස්. මද්දෙවිතාන
ඌරගස්මන්හන්දිය – අයි. ජයරත්න