ගෝනවල – නැඟෙනහිර ප්‍රදේශයේ වෙල් යායේ අක්කරයක පමණ ප්‍රමාණයක වගා කර තිබූ පැළ ගොයමට කිසියම් පුද්ගලයකු විසින් හොර රහසේ වල් නාශක දියර ඉස විනාශ කර දමා තිබේ.
මේ සම්බන්ධව එම කුඹුරු හිමියා විසින් සපුගස්කන්ද පොලීසියට හා බියගම ගොවිජන සේවා කාර්යාලයට ද පැමිණිලි කරනු ලැබ තිබිණ.
එම කුඹුර වපුරා දින 14ක පමණ කාලයක් ගතවූ ඉකුත් අඟහරුවාදා (17) රාත්‍රියේ එම පැළ ගොයම විනාශ කර දැමීමේ අරමුණින් කිසියම් පුද්ගලයකු මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර ඇතැයි වාර්තා වේ. මෙයින් කුඹුරට රුපියල් ලක්ෂයක පමණ අලාභයක් සිදුව තිබෙන බව ද අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධව තවම කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර, සපුගස්කන්ද පොලීසිය හා බියගම ගොවිජන සේවා කාර්යාලය වෙන වෙනම පරීක්ෂණ පවත්වයි.
මල්වාන සමූහ – මහානාම විතානගේ