විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබඳව හසල දැනුමක් හා පලපුරුද්දක් සහිත ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙස පත්කර තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතනය වෙයි. මේ වන විට ස්වාධීනව ක්‍රියාකරන දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කරගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන වල නිර්මාණාත්මක බව අන්තර්ජාතික වෙළඳපළට ගැලපෙන පරිදි හසුරුවමින් දේශීය අත්කම් කලාව අන්තර්ජාතික වෙළඳපළ තුළ ස්ථාවර කිරීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය විසින් මෙම පත්වීම සිදුකර ඇත.
මෙම වගකීම භාරගත් ජාතික ශිල්ප සභාවේ නව සභාපතිනිය වන ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන සංවර්ධනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස 2006 වසරේ සිට කටයුතු කරන අතර ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම ප්‍රවර්ධනය සහ නිර්මාණය සඳහා ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල වෘත්තීමය අත්දැකීම් රැසක් ඇති අයෙකි.
ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය මොරටුව විශ්ව විද්‍යාලයෙන් Fashion Design and Product Development පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමිකරගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ University of the Arts, London හිදී තම පශ්ශාත් උපාධියද ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් (University of the Visual and Performing Arts) ආචාර්ය උපාධියද ලබාගෙන ඇත. විලාසිතා නිර්මාණකරණය පිළිබඳව දෙස් විදෙස් සම්මාන රැසකින්ද පිදූම් ලබා ඇති ආචාර්ය වික්‍රමසිංහ මහත්මිය විලාසිතා නිර්මාණය පිළිබඳව ජාතික හා අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා රැසක් එළිදක්වා තිබේ.