‘දියර කිරෙන් රට ස්වයංපෝෂිත කිරීමේ’ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික සමාගමක් විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ගලබඩවත්තෙන් අක්කර 750ක ඉඩම් කොටසක් පසුගිය රජය සමයේ ලබා ගනිමින්, ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු නොකිරීම හේතුවෙන් වතු කම්කරුවෝ පිරිසක් අනවසරයෙන් එම වතුයායේ කොටසක් අත්පත් කර ගැනීමට පෙරේදා (21) උත්සාහයක නිරත වූහ.
මෙහිදී නාවලපිටිය පොලීසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කිරීමට හැකි විය.
ගලබඩවත්තේ අක්කර 750කට වැඩි ඉඩම් ප්‍රමාණයක් අදාළ පෞද්ගලික ආයතනයට පසුගිය ආණ්ඩුව විසින් ලබාදී තිබුණේ මීට වසර තුනකට පෙරය.
නවසීලන්තයෙන් කිරිගවයන් මෙරටට ආනයනය කොට සත්ත්ව ගොවිපොළක් ආරම්භ කිරීම සඳහා මෙම ඉඩම් වෙන් කර තිබුණි.
ව්‍යාපෘති ආරම්භයේදී අදාළ පෞද්ගලික සමාගම විසින් ගම්මානයට පිවිසෙන දැඩි ලෙස අබලන් වූ මාර්ගය අලුත්වැඩියා කිරීම, එක් වතු කම්කරුවකුට පර්චස් 7ක ඉඩම් ප්‍රමාණයක් ලබාදීම, සත්ත්ව ගොවිපොළට ලබා දෙන ඉඩම්වලට සරිලන තවත් ඉඩ ප්‍රමාණයක තේ වගා කර එහි දෛනික වැටුපට කම්කරුවන්ට අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වූ බව වතු කම්කරුවෝ පවසති.
එහෙත් අදාළ පෞද්ගලික සමාගම විසින් මේ වනතුරු තමන්ට වූ පොරොන්දු ඉටු කර නැති බවත්, ඔවුන් වෙන්කරගත් ඉඩම් ප්‍රමාණය ඉක්මවා යමින් ඉඩම් අත්පත් කර ගන්නා බවටත් වතුකම්කරුවෝ චෝදනා කරති.
එසේම අධික වටිනාකමකින් යුත් දැව කපා මුදලට විකිණීම, වැලි ගොඩදැමීම, ගල්බෝර දැමීම, මැණික් ගැරීම ආදී නීති විරෝධී ක්‍රියා රැසක් එම ප්‍රදේශයේ සිදුවන මේ පිළිබඳ ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෝ අධිකාරීන් නිසි පිළිතුරක් ලබා නොදෙන නිසාවෙන් තමන් එම ඉඩම් ප්‍රමාණය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සූදානම් වූ බව වතුකම්කරුවෝ කීහ.
හැටන් – රංජිත් රාජපක්ෂ