Home » හැඳුනුම්පත ළඟ නොතිබුණැයි ජැක්සන්ගේ බෑනා අත්අඩංගුවට අරන්

හැඳුනුම්පත ළඟ නොතිබුණැයි ජැක්සන්ගේ බෑනා අත්අඩංගුවට අරන්

-අතුරුගිරිය පොලිසියේ තුනකට ස්ථාන මාරු

by sachintha
December 23, 2024 1:12 am 0 comment

සිවිල් ඇඳුමින් සැරසුණු අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

නි‍ෙවස ආසන්නයේ ඇති වෙළඳසලකට ගොස් සිටියදී ජාතික හැඳුනුම්පත නැතැයි පවසමින් පොලීසිය විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. බස්නාහිර පළාත් දකුණු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

තමාට සිදුවූ මෙම අසාධාරණය ගැන ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා පොලිස්පති සහන මැදිරියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ වී තිබේ.

කසුන් මහේන්ද්‍ර මහතාට පොලීසියෙන් මෙසේ හිරිහැර සිදුව ඇත්තේ පසුගිය 20 වැනිදා සවස හබරකඩ නි‍ෙවස ආසන්නයේදීය.

මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය

එලෙස තාවකාලිකව මාරු කරනු ලැබ ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

මෙම නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී තමාව ත්‍රිරෝද රථයේ දමාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බවත් සිය අනන්‍යතාව තහවුරු කිරීමට සිය බිරිය විසින් තමාගේ හැඳුනුම්පත නිවසේ සිට රැගෙනවිත් පොලීසියට ඉදිරිපත් කළ බවත් කසුන් මහේන්ද්‍ර මහතා සඳහන් කළේය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT