කොළඹ සිට මහනුවර හරහා තෙල්දෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුලුන ආසන්නයේ ඇති අඹ ගසක පෙරේදා (21) පස්වරු 3.00 ට පමණ ගැටී සිදුවූ අනතුරකින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථයේ ඉදිරි වම්පස ටයරයේ හුළං බැසීම නිසා තිරිංග ක්‍රියාත්මක නොවී බස් රථය ඇදී ගොස් අඹ ගසේ ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් කළ මූලික විමර්ශන වලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ නව දෙනා කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
බස් රථයේ මුහුණතේ වම්පස කොටස ගසේ ගැටීමත් සමඟ පාපුවරුවේ සිටි දෙදෙනෙකු බස් රථය හා අඹගස අතර සිරවී සිටියදී පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව දොඹකරයක් ද උපයෝගි කර ගනිමින් විනාඩි 20 ක පමණ කාලයක් තුළ ඔවුන් බේරාගෙන රෝහල්ගත කර තිබේ.
බස් රථයෙන් බැසීම සඳහා පාපුවරුවට පැමිණ සිටි බඩඉරිඟු වෙළෙන්දකු සහ තවත් අයෙකු මෙලෙස සිරවී සිට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
බස් රථයේ ඉදිරි වම්පස ටයරයේ හුළං බැසීම නිසා තිරිංග ක්‍රියාත්මක නොවී බස් රථය ඇදී ගොස් අඹ ගසේ ගැටී තිබෙන බවට කරුණු අනාවරණය වන නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පරීක්ෂා කර බලා ලබාදෙන වාර්තාවෙන් පසුව ඒ සම්බන්ධයෙන් ස්ථිර යමක් ප්‍රකාශ කළ හැකි බව කඩුගන්නාව පොලීසියේ රථවාහන අංශය පවසයි.
අනතුර සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත්
සංචාරක එල්.එස්. එගොඩවිට
ඡායාරූප – රුවන් මීගම්මන