පුංචි දරුවකුගේ දෂ්ටිකෝණයෙන් හා පරිකල්පන රටාවෙන් වැඩිහිටි පත්තරකාරයකුගේ දැවැන්ත භූමිකාව නිරූපණය කරගත හැකිනම්; එතැන හරි අපූරු නිර්මාණ අභ්‍යාසයක් දැකගත හැකිවෙයි. මෙහිලා සිදු වී ඇත්තේ ඊට ඉඳුරා වෙනස් සන්තෑසියකි. දරුවාගේ දෑසට වැඩිහිටි උපැස් යුගල වැටී ඇත. ඔහුගේ මනසට වැඩිහිටියන්ගේ කෘතහස්ත සෙවණැලි වැටී ඇත. එබැවින් දරුවකුගේ දෑසින් හා මනසින් හික්කඩුවේ ලියනගේ කතුවරයා දැකීමේ වාසනාව අපට අහිමි වී ඇත. ඊට වගකිවයුත්තෝ මේ දරුවා පසුපස සිටින වැඩිහිටි පොක්කරම වෙති.
දරුවකුට තම මුත්තා ගැන පොතක් ලියන්නට පුළුවන. දුටුවත් – නොදුටුවත් ආරංචිමාර්ගයෙන් එවැන්නක් කළ හැකිය. එහෙත් මුත්තා රටක් හඳුනන පත්තරකාරයකු නම් කාර්යය දුෂ්කර වනු ඇත. ඊට අදාළ ප්‍රධාන හේතුසාධක දෙකක් ඇතැයි සිතේ.
(I) පත්‍රකලාවේදියා පිළිබඳ ස්ථාපිත වූ මතවාදයක් සමාජය
තුළ පවතියි. දරුවකුට ඒවා වටහාගැනීම දුෂ්කරය.
(II) පරණ පත්තරකාරයන් තම තොරතුරු හා දත්ත
පමණක් නොව, දෂ්ටිවාදය හා හැකියාවන් ද බොහෝ
කොට සඟවා ගැනීම සිරිත වෙයි. ඔවුන් තමන්ගේ
භූමිකාව හුවා දක්වන්නේ නැත.
මේ අනුසාරයෙන් බලන කල තමන්ගේම මුත්තා ගැන වුව පොතක් ලිවීම දුෂ්කර කාර්යයක් බවට පත්වන්නේ හෙතෙම පත්තරකාරයකු හෝ කතුවරයකු හෝ බවට පත්වීමෙන්ය. මේ කෘතියට පාදක වන්නේ ද එබඳු සන්තෑසියකි. ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ නම් පත්තර කතුවරයා ගැන ඔහුගේ මුනුබුරකු වන ඒ.එස්.දිල්නුක සිල්වා පොතක් ලියා පළ කර තිබේ.
“හික්කඩුව මහත්තයා, ශ්‍රී ලාල් කතුතුමා, ලියනගේ සහෝදරයා, හික්කඩුව ලියනගේ” ආදී නම්වලින් ද ඔහු හඳුන්වනු අප දැක තිබේ, අසා තිබේ. සිළුමිණ කතුවරයා ලෙස හෙතෙම රාජකාරි කළ සමයේ ඔහුගේ දීප්තිය වඩාත් ප්‍රබල විය. මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් පසු සිළුමිණ පුවත්පතෙහි කර්ත පදවිය භාර දී ඇත්තේ ද ලියනගේ මහතාටය. හික්කඩුව ලියනගේ කර්තෘවරයාගේ තත්ත්වය එම සිද්ධියෙන්ම වටහාගත හැකිය. නිදහසට පෙර සිළුමිණ වැනි දැවැන්ත පත්තරයක කර්තෘ පදවිය භාරගත් සෑම තැනැත්තකුම සුවිශේෂී තැනැත්තකු හැටියට නම් කළ හැකිය. මන්දයත්, ඔවුන් වෙත පැවැරෙන ජාතික වගකීම මහත් බරපතළ ස්වරූපයක් ගත් බැවින් ය. ලේක්හවුස් පත්තර ආයතනයෙහි අයිතිකාරයන් වූ, එලෙසම ජාතික දේශපාලනයෙහි ප්‍රමුඛයන් ද වූ පවුල් පසුබිමකින් පැවත එන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුව ලියනගේ කතුවරයා ගැන ඉතා නිවැරැදි ප්‍රකාශයක් සටහන් කර ඇත්තේ පහත සඳහන් පරිදිය.
“1944 සිට 1953 දක්වා වසර 09ක් සිළුමිණ කතුවරයා ලෙස ශ්‍රීලාල් හික්කඩුව මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව අපි දනිමු. සිළුමිණ සාමාන්‍ය පොදු ජනතාවට සමීප පුවත්පතක් බවට පත්කරන ලද්දේ ද ඔහු විසිනි.”
(හැඳින්වීම)
වික්‍රමසිංහ මහතා ඉතා නිවැරැදි ලෙස හික්කඩුව ලියනගේ කතුවරයා හඳුන්වා දී ඇත. ඔහු කතුවරයාගේ විශේෂ ලක්ෂණ දෙකක් මතුකර පෙන්වයි.
(I) කතුවරයා දක්ෂ කළමනාකරුවකු බව හුවා දක්වයි.
(II) කතුවරයා පොදු ජනයාගේ හිතවතකු බව හුවා දක්වයි.
මේ විභවතා දෙක නොතිබෙන්නට, ලියනගේ මහතාට සිළුමිණ පුටුවෙහි වසර නවයක කාලයක් පවතින්නට ඉඩ ප්‍රස්තා ලැබෙන්නේ නැත. සාමාන්‍ය පත්‍ර කලාවේදියා, වාර්තාකරුවා, මාණ්ඩලික ලේඛකයා, උප කර්තෘවරයා, ප්‍රධාන කර්තෘවරයා ආදී වශයෙන් ඇති තනතුරු අතරෙහි විශාල වෙනස්කම් පවතියි. මෙයින් බරපතළ වගකීම් දරන තැනැත්තා බවට පත්වන්නේ කතුවරයාය. නූතන පත්තර කලාවට අනුව “කතුවරයා, සම කතුවරයා, කළමනාකරණ කතුවරයා, ප්‍රධාන කතුවරයා” ආදී තනතුරු අතර වෙනස්කම් පවතියි.
කර්තෘ, ප්‍රධාන කර්තෘ, කළමනාකරණ කර්තෘ ආදී තනතුරු සමපාතී වෙයි. බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව ප්‍රධාන කර්තෘවරයා යන්න පත්තරයේ ප්‍රධානව භාවිත වන අතර කළමනාකරණ කර්තෘ යන පදවිය අමෙරිකන් සම්ප්‍රදායේදී භාවිත වෙයි. කර්තෘ මණ්ඩලයෙහි සියලු ඩෙස්ක්වල ප්‍රධානියා කර්තෘවරයා වන අතර පත්තරය සම්බන්ධ සියලු වගකීම් දරන පුද්ගලයා නැතහොත් තනතුරුලාභියා ප්‍රධාන කර්තෘවරයා හෝ කළමනාකරණ කර්තෘවරයා හෝ වෙයි. ශ්‍රී ලංකාව බහුල වශයෙන් මහා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරයි. මේ අනුව පුවත්පතක අලෙවිය සම්බන්ධයෙන් වුව ප්‍රධාන කතුවරයා වගකිව යුතුය. ඔහු සතුවිය යුතු විභවතා පහත සඳහන් පරිදි වේ.
(I) කර්මාන්තය පවත්වාගැනීමට සාධනීය ලෙස
මැදිහත්වීම හා ලාභ පෙන්වීම
(II) ජාතික තලයේදී බරපතළ වගකීම් රැසක් ඉටු කිරීමට
බැඳී සිටීම
(III) පොදු ජනයා අතරට ජනප්‍රිය පුවත්පතක් ඉදිරිපත් කිරීම
(IV)කර්තෘ මණ්ඩලයෙන් හා වෙනත් සම්පත්වලින් උපරිම
ප්‍රයෝජන ලබාගැනීම
(V) ආරවුල් ඇති නොවීමට වගබලා ගැනීම හා
ජාතික ජනමතය සකස් කිරීමට හවුල්වීම.
පුවත්පතක කර්තෘවරයා දැවැන්ත චරිතයක් බවට පත්වන්නේ උපාධි සහතික, පශ්චාද් උපාධි සහතික හා සම්මාන ආදියෙන් නොව ඉහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ ලබාගන්නා ජීවමාන ජයග්‍රහණ ඔස්සේ බව වටහාගත යුතුය. මේ කෘතිය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් තබන ප්‍රවීණ පත්‍රකලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා පහත සඳහන් කෙටි සටහන පොතේ පසු කවරයට එකතු කර තිබේ.
“මේ මී මුනුබුරා දිල්නුක සිල්වා “නොදුටු මුත්තා” යනුවෙන් ලියන්නේ තම මවගේ සීයා ගැනය. එනම්; තම මුත්තනුවන් ගැනය. මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ශිල්ප හදාරන දහ හතරවන වියෙහි පසුවන කුඩා දිල්නුක, සිය මුත්තණුවන්ගේ ඇසුර ලබන්නට ඇතැයි සිතූ වියපත් වියතුන්ගේ ද, ඔහු වෙතින් පත්‍ර කලාවට අත්පොත් තැබූ වර්තමාන කතුවරුන්ගෙන් ද, ඥාති සම්බන්ධකම් ඔස්සේ ද කාලයාගෙන් වසන් වූ වතගොත සොයා ලියූ “නොදුටු මුත්තා” කෘතිය ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ජීවන අන්දරය ප්‍රකාශන රටාවෙන් ද, රචනා කෞශල්‍යයෙන් ද, භාෂා භාවිතයෙන් ද, අප විස්මයට පත් කළේය.”
(තිලකරත්න කුරුවිට බණ්ඩාර – පිට කවරය)
කුරුවිට බණ්ඩාර මහතාගේ විවේචනය පිළිගත හැකි එකකි. දරුවාගේ පොතෙන් අපිදු විස්මයට පත්වීමු. ඒ මේ කියන ළමයා එකවර වැඩිහිටියකු වී ඇත්තේ කෙසේ ද යන ප්‍රශ්නය මතය. කෘතිය ළමයකුගේ නොව වැඩිහිටියකුගේය.
අද ළමා පොත් ලෙස එළිදකින්නේ වැඩිහිටි පොත්ය. යොවුන් නවකතා ලෙස එළිදකින්නේ යෞවනයන්ගේ නිර්මාණ නොව වියපත් මිනිසුන්ගේ පරණ පෙම් කතාය. ෙම් දැන් චරිතාපදාන සාහිත්‍යය ද එය සිදු වී තිබේ. දරුවන්ට නිදහසේ තම පරිකල්පන ලෝකය තුළ සැරිසරන්නට ඉඩ නොදීම බලවත් පාපයක් සේ සැලකිය හැකිය.
රන්ජන් අමරරත්න