Tuesday, April 8, 2025
Home » ගෝලීය සබඳතා සහ ජාත්‍යන්තර මිත්‍රත්වය

ගෝලීය සබඳතා සහ ජාත්‍යන්තර මිත්‍රත්වය

by sachintha
December 23, 2024 1:01 am 0 comment

කරට අතදැමීම නැතිනම් බදා වැලඳ ගැනීම යනු ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ උපරිම ළෙන්ගතුභාවය, මිත්‍රත්වය ප්‍රකාශ කරන්නකි. අපගේ අති සමීපතමයකු මුණගැසුණුවිට අපි නිතැතින්ම මේ චාරිත්‍රයට යොමු වෙමු. යහළුවන්, මිතුරන් කොතරම් සිටියත්, අපි ඔවුන් සියලු දෙනා බදා වැලඳ නොගනිමු. එය තීරණය වන්නේ එකිනෙකා අතර ඇති මානසික, ආධ්‍යාත්මික බැඳීමේ ප්‍රමාණය මතය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී හිමි වූ සහන සම්බන්ධයෙන් ඇතැම් අයගේ අවධානය යොමු වූ අතර, තවත් අයගේ අවධානය යොමු වූයේ ඊට වඩා සෙසු කාරණා කෙරෙහිය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනපති අනුර කුමාර දිසානායකගේ පිටට අත තබා මිත්‍රත්වය පළ කරන රූප රාමුවක් ජාතික සහ ජාත්‍යන්තර ජනමාධ්‍යයන්හි වැඩි වැදගත්කමක් දක්වමින් පළ කර තිබෙනු දක්නට ලැබිණි. ඒ සේයාරුව තවත් එක් ඡායාරූපයක් පමණක් යැයි අපිදු කල්පනා නොකරමු. එය සමාජ දේශපාලනිකව කියවා ගැනීම අතිශය වැදගත් වනු ඇත.

පොතේගුරුවාදය හෝ හණමිටි දේශපාලනය තුළ අඳුරු ගුහාවල සිට ප්‍රශ්න විග්‍රහ කර කෑගැසීම පලක් ඇති ක්‍රියාවක් නොවේ. ජාතික දේශපාලනය, ජාත්‍යන්තර දේශපාලනය සහ කලාපීය සහයෝගිතාව යනු කුමක් දැයි මහ පොළොවට බැස තේරුම්ගත යුතුව ඇත.

විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින්, පුවත් නිවේදන නහුතයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනපතිවරයාගේ සංචාරයේ අයහපත් ප්‍රතිඵල ඇති බවයි.

එහෙත් විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා, ඉන්දීය සංචාරයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට එම සංචාරයේදී නොපැමිණි බවයි. එපමණක් නොව, ඔහු සඳහන් කළේ ඉන්දීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙරට සංචාරක ව්‍යාපෘති ගණනාවක් ඉන්දීය ආධාර ව්‍යාපෘති බවට පත් කර ගැනීමට හැකියාව ලැබූ බවයි.

රටක් තවත් රටකට මූල්‍යමය හා තාක්ෂණික සහයෝගිතාව සැපයීමේදී ක්‍රමවේද තුනක් අනුගමනය කරයි.

පළමුවැන්න ණය දීමය. මෙහිදී නිශ්චිත කාලයක් තුළ ණය සහ ගිවිසුම්ගත පොලිය ගෙවිය යුතු වේ. දෙවැන්න ණය ආධාර දීමය. මෙහිදී සිදු වන්නේ සහන පොලී ක්‍රමවේදයක් මත ණය ගෙවීමය. අනෙක් ක්‍රමය නම් ආධාර දීමය. ආධාරයක් යනු ප්‍රදානයකි. එය රටක් තවත් රටක් කෙරෙහි දක්වන මානුෂීය හැඟීම මත පිරිනමනු ලබන්නක් වන හෙයින්, යළි ගෙවිය යුත්තක් නොවේ.

සුනාමි ඛේදවාචකය අවස්ථාවේදීත්, ශ්‍රී ලංකාව තවත් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදුන් අවස්ථාවලදීත් මෙවැනි ප්‍රදානයන් අපට හිමිව තිබේ.

ඉන්දීය සංචාරය අතරතුර එට්කා ගිවිසුම හෝ වෙනත් අහිතකර ගිවිසුමක් අත්සන් නොකළ බව විදේශ ඇමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී ඒ සම්බන්ධයෙන් බිල්ලන් මැවීම කවර අරමුණකින් සිදු කරන්නක් දැයි අපට නොතේරේ. පූර්ව උපකල්පන මත විනිශ්චයන්ට එළඹීමෙන් අනාගතයේ බොහෝ සුබදායී කාරණා අහිමි වනු ඇති බව පමණක් අපි සටහන් කර තබමු.

ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම, හොර රහසේ අහුමුලුවල සිදු කළ හැක්කක් නොවේ. එහිදී ඇති කර ගනු ලබන එකඟතා ප්‍රසිද්ධ සමාජයීය කාරණා වේ. නොදුටු ගිවිසුමක් හෝ අත්සන් නොකළ ගිවිසුමක් පිළිබඳ විපක්ෂය කෑගසන්නේ ඇයි දැයි නොතේරේ. ඇතැම් විටක ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සතියකට කවර හෝ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමේ මානසික රෝගය විය හැකිය.

එය සයිකෝසීය තත්ත්වයකි. සරල මනෝ උපදේශනයකින් එය යථා තත්ත්වයට පත් කරවාගත හැකිය.

කටපාඩම් කළ, වනපොත් කළ න්‍යායික සූත්‍රවලින් පමණක් ප්‍රායෝගිකත්වයේ සීමාවට ළං විය නොහැකි බව තේරුම් ගැනීමට දේශපාලනික බලය අත්පත් කර ගත යුතු නැත.

ගෝලීය යථාර්ථය අවබෝධ කොට නොගෙන රටක සමාජ, ආර්ථික, දේශපාලනික වෙනසක් ඇති කරගත නොහැකි බව කෙනකුට තේරුම් නොයන්නේ නම් එය ළිං මැඬි දේශපාලනයකි.

කලාපීය සහයෝගිතාව තුළ ඉන්දීය සාධකය මෙන්ම චීන සාධකය ද අතිශය වැදගත්ය. ජනාධිපතිවරයාගේ මීළඟ නිල රාජ්‍ය සංචාරය යෙදී ඇත්තේ චීනයටය. චීනය සහ ඉන්දියාව අතර ඇති පසමිතුරු දේශපාලනය ශ්‍රී ලාංකේය දේශපාලනයට ද ඍජු ලෙස බලපාන කාරණයකි. නිවැරදි කළමනාකාරීත්වයකින් යුතුව චීන සාධකය සහ ඉන්දීය සාධකය හැසිරවීම සිදු කළ යුතුය. එකී දේශපාලනික අවබෝධය ජනපති අනුර කුමාර දිසානායක මහතාටත්, ජාතික ජන බලවේග රජයටත් ඇති බව අපි කල්පනා කරමු.

උපක්‍රමික දේශපාලනය තුළ පවතින දේශපාලනික සන්දර්භයට අනුකූලව තීන්දු තීරණ ගැනීමට ඇති සමත්කම මත කෙනකුගේ දේශපාලනික පරිණතභාවය ලෝකයට ප්‍රකාශ වනු ඇත. එහිදී වැදගත් සාධකය වන්නේ ජනවරමට පිටු නොපා ජාතික, දේශපාලනික අභිලාෂ හා ජාත්‍යන්තර දේශපාලනික සහයෝගිතාව කළමනාකරණය කිරීමයි.

අවුරුදු හැත්තෑ හයක් පුරා දූෂිත, ජරා දේශපාලනික මඩ ගොහොරුවක සිර වී සිටි සාම්ප්‍රදායික දේශපාලනික පෙළැන්තියත්, වෙනස් වන සුලු මනසකින් යුතු ජන සමාජයත් මෙකී සමාජයීය කාරණා දේශපාලනික සවිඥානකභාවයකින් තේරුම් ගෙන නැත. එය සමාජමය, ආකල්පමය වෙනසකින් යුතුව හඳුනාගත යුතු කාරණයකි.

“ශ්‍රී ලංකාවේ භූමිය කිසිසේත් ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් වන කටයුතුවලට යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැත” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ කළ ප්‍රකාශය හුදු ප්‍රකාශයක් නොව, ඉන්දීය සහයෝගිතාව තහවුරු කරන ප්‍රකාශයකි.

දූෂිත දේශපාලනඥයන් විසින් රාජ්‍ය භාණ්ඩාගාරය පතුලටම සොරකම් කර තිබූ මොහොතක, රාජ්‍ය ආදායම බින්දුවට බස්සා තිබූ මොහොතක, ඒ පිළිබඳ අනවබෝධයෙන් හුදු ප්‍රචාරණ වාසි තකා දේශපාලනික බිල්ලන් මැවීම අපි අනුමත නොකරමු.

සමාජ වෙනසකදී මුලින්ම කළ යුතු වන්නේ මිනිසුන්ගේ සංකල්පරූපී මනස් තුළ ගොඩනංවා ගෙන ඇති ආචීර්ණ කල්පික සිංහාසනාරූඪ මතවාද පෙරළා දැමීමය, පූර්ව උපකල්පන, සැක කිරීම් පුපුරුවා හැරීමය.

එබැවින් සතියකට වරක් පුවත්පත් සාකච්ඡා තබා, ප්‍රවෘත්ති නිවේදන නිකුත් කොට, සමාජය භීතියට පත් කරවමින් බිල්ලන් මවන අයට අපි මෙසේ ලියා තබමු:

“ගෝලීය දේශපාලනය තුළ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු ඡායාරූපවලින් ඔබ්බට කියවාගන්න. වැඩ කිරීමට පෙර, පූර්ව විනිශ්චයන්ට එළඹීමට කලබල නොවන්න.'”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT