Sunday, April 20, 2025
Home » නත්තල් දවසේ රටේ ඔක්කොම පල්ලිවලට විශේෂ ආරක්ෂාවක්

නත්තල් දවසේ රටේ ඔක්කොම පල්ලිවලට විශේෂ ආරක්ෂාවක්

by chanaka
December 23, 2024 11:08 am 0 comment

නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දිවයින පුරා පිහිටි සියලුම දේවස්ථාන සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් විශේෂ ආරක්ෂක විධිවිධාන පැනවීමට නියමිතය.

නත්තල් සහ උත්සව සමයට පෙර සූදානමක් ලෙස මුළු රටම ආවරණය වන පරිදි පුළුල් ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීම සඳහා බස්නාහිර පළාතේ පමණක් නිලධාරීන් 6500කට අධික පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පවසයි.

නත්තල් දිනයේදී දිවයින පුරා දේවස්ථාන 2000කට අධික ප්‍රමාණයක දේව මෙහෙයන් පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

ඒ අනුව, අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පල්ලිවල පිහිටුවා ඇති සිවිල් කමිටු සමඟ සම්බන්ධීකරණය කිරීමට අදාළ පොලිස් බල ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කෙරේ.

අදාළ ආරක්‍ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවන බව පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග, අවශ්‍ය නම් හමුදාවේ හෝ වෙනත් ආරක්‍ෂක අංශවල සහාය ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන බවද පැවසීය.

මේ අතර, උත්සව සමයේ අපරික්ෂාකාරී රියදුරන් ඉලක්ක කර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය.

එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පැවසීය.

සිදුවිය හැකි අපරාධ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සහ හඳුනාගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට වැඩි පිරිසක් ආගමික ස්ථාන සහ ජනාකීර්ණ ස්ථාන අසල ස්ථානගත කරනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT