Home » එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් ලංකාවේ නිදහස් සෞඛ්‍යයේ ඉදිරි ගමනට ලැබුණු සහතිකය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් ලංකාවේ නිදහස් සෞඛ්‍යයේ ඉදිරි ගමනට ලැබුණු සහතිකය

by chanaka
December 22, 2024 10:05 am 0 comment

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Kunle Adeniyi) අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වය මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදව අවබෝධයක් ලබා ගැනීම සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත්විය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මෙන්ම රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය සහායද, නව රජය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සැළසුම් හා ව්‍යාපෘති සදහා අවශ්‍ය වන සහාය ද නිබදව ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ අඩෙනියි මහතා මෙහිදී පැවසීය.

පසුගිය කාලයේදී මෙරට සෞඛ්‍ය සේවාවේ යම් කිසි පසුගාමීත්වයක් සිදුව ඇති නමුත් නව රජය බලයට පත්වීමත් සමග පැවති ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් විධිමත් සහ කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීම සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හමුවේ මෙහිදී පැවසීය.

දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහා ගතයුතු සුදුසු ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් ලෙස පවත්වා ගෙන යාමට ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව පැවසූ අමාත්යවරයා මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය මෙන්ම සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතියට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙතෙක් ලබාදුන් දායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවද අවධාරණය කලේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් සහකාර නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග, ජාතික වැඩසටහන් විශ්ලේෂක හා උපදේශක අනුෂිකා අමරසිංහ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT