රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි.
එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය විය. ඒ අනුව සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණි.
ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී තිබේ. අනාවරණය වී ඇත්තේ එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවයි.
යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් එහි සඳහන් වේ. අමාත්‍යංශය පැවසුවේ, ඒ සම්බන්ධව පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා විසින් ලබා දී ඇති වාර්තාව අනුව මෙය තහවුරු කළ තොරතුරු මත පදනම් වන බවයි.
මේ හේතුවෙන් එම පොහොර අනියත බියකින් තොරව භාවිත කළ හැකි බවත් අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්වේ.
ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට මෙම පොහොර තොගය ලබා දුන් අතර එම පොහොර තොගය රැගත් නෞකාව පසුගිය 12 වැනිදා කොළඹ වරායට පැමිණියේය.