Monday, April 21, 2025
Home » රටේ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි

රටේ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි

by chanaka
December 22, 2024 2:13 pm 0 comment

“රටක වටිනාම වස්තුව එහි පුරවැසියන් වන අතර, ඔවුන් ආරක්ෂා කිරීම ඔබගේ ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි. මෙම වගකීම ඔබගේ මනසෙහි ගැඹුරින් කාවැදී තිබිය යුතු අතරම ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීම ඔබගේ මූලික වග කීමයි” බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා පවසයි.

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී (21) දින පැවති විසිරයාමේ පෙළපාලියේදී නව අධිකාරි ලත් නිලධාරීන් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර සදහන් කළේ,

“ඔබ සැම සාමාන්‍ය රාජකාරියකට සාපේක්ෂව විශාල වගකීමක් දරනු ලබයි. ඔබගේ කැපවීම, නොසැලෙන අධිෂ්ඨානය, නායකත්ව ගුණාංග සහ ස්වයං විනය ඉදිරි වසර වලදී ජාතියේ ප්‍රතිෂ්ඨාපනය සහ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත.

පසුගිය සැප්තැම්බර් සහ පසුව නොවැම්බර් මාස වලදී ආණ්ඩු පක්ෂයට දැවැන්ත ජනවරම් දෙකක් ලැබුණි. ජනතාව විසින් එලෙස තෝරාගනු ලැබූ ජනාධිපතිවරයා සහ රජය සෑම තරාතිරමකම නිවැරදි දේශපාලන නායකත්වය ලබා දෙනු ඇත.

අපගේ මාතෘභූමිය විවිධ අභියෝග රැසකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක ඔබ යුද හමුදාවට සම්බන්ධ වී ඇත. වසර 15 කට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට සාමකාමි පසුබිමක තිබියදීත්, ඕනෑම අවස්ථාවකට ඇති විය හැකි අභියෝගයකට සාර්ථකව මුහුණ දීම සඳහා අප රටේ ආරක්ෂාව සහ සාමය පවත්වා ගත යුතුය.”

දෙවන ලුතිනන් නිලයෙහි අභිනවයෙන් අධිකාරි ලත් නිලධාරීන් 222ක් අතරින් පිරිමි නිලධාරින් 203ක් වන අතර, කාන්තා නිලධාරිනියන් 19ක් ද වේ. මේ අතර කෙන්යාව, උගන්ඩාව, ගැම්බියාව සහ සැම්බියාව යන රට වලින් පැමිණි කැඩෙට් නිලධාරින් 10 දෙනෙකු ද වූහ. මීට අමතරව, ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාපීඨය හා නිලධාරින් පුහුණු කිරීමේ විද්‍යාපීඨය, බංග්ලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨය වැනි කීර්තිමත් හමුදා අධ්‍යයන ආයතන වල විදේශීය පුහුණුව සම්පූර්ණ කල ශ්‍රී ලාංකික කැඩෙට් නිලධාරින් 10 දෙනෙකු ද අධිකාරියෙහි පිහිටුවන ලදී.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික), යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් සිල්වෙස්ටර් පෙරේරා විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් දිනයේ කටයුතු ආරම්භ විය. අනතුරුව මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට ගෞරව දැක්වීමේ සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය අභියස පුස්පෝපහාර දැක්විය.

එහිදී සභාව අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආරක්‍ෂක අමාත්‍යවරයා ද වන අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන්, යුද්ධයක් ජයග්‍රණය කල අප රටේ මෙම ඉතා ගෞරවාන්විත හමුදා වෘත්තියට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රශංසා කල අතර, මේ වනවිට රටේ පවතින සාමකාමි වාතාවරණය තුළ පවා ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් සේවයට එක්වීමට ලබාගත් මෙම සුවිශේෂී තීරණයට සහාය වීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

සිවිල් සමාජයේ සිටින පුද්ගලයෙකු යුද්ධෝපක්‍රමයන්ගේ අති දක්ෂ හමුදා නිලධාරියෙකු බවට පරිවර්තනය කිරීමේදී ඔවුන් වෙත ලබාදෙන පුහුණුවේ වැදගත්කම සහ ජාතියේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අලුතින් පත් කරන ලද මෙම නිලධාරින් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් අවධාරණය කළේය.

තවද, අර්බුදකාරි තත්ත්වයන්ගෙන් රට මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව දැක් වූ දායකත්වය අගය කල ඔහු, ජාතිය ගොඩ නැගීමේ අභියෝග වලට මුහුණ දීමට සහ ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය තර්ජන හමුවේ මුහුණ දීමට හමුදා නිලධාරීන් සතු විය යුතු සූදානම පිළිබඳව මෙන්ම, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වලට සම්බන්ධව වසර ගණනක් මුළුල්ලේ විදෙස් රටවල සුවිශේෂී සේවාවක් සිදු කරන ශ්‍රී ලංකා භට පිරිස් පිළිබඳව ද සිහිපත් කළේය.

එමෙන්ම, මෙම විද්‍යා පීඨයෙහි පුහුණුව ලබා දෙන කාලය තුළ පුහුණු නිලධාරින් හට ලබාදෙන න්‍යායාත්මක දැනුම, විශිෂ්ඨ පුහුණුව සහ ඒ තුලින් සංවර්ධනය කෙරෙන ධනාත්මක ආකල්ප පිළිබඳව තමා විශ්වාස කරන බවත්, එමඟින් මෙම තරුණ නිලධාරින් හට තම මාතෘ භුමියට ඔවුන්ගෙන් ඉටු කෙරෙන උදාර යුතුකම ගෞරවයෙන් හා විශිෂ්ඨ අයුරින් ඉටු කිරීමට හැකිවනු ඇති බවත්, ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT