සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ජාත්‍යන්තරව පිළිගත් පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ක්‍රීඩා සංකීර්ණයක් වන අතර, සියලු පහසුකම් හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත මීටර් 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රීඩා සංකීර්ණය ද වේ.
2018 වර්ෂයේදී මේ පිටියේ කෘත්‍රිම ධාවන පථයන් නැවත එළීම සිදු කළ අතර, මේ වන විට එහි පළුදුවීම් රාශියක් පවතින හෙයින්, ජාතික තලයේ ක්‍රීඩා තරගවලට පවා නුසුදුසු තත්ත්වයක පවතින බවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ද වාර්තා කර තිබිණි.
මේ කෘත්‍රිම ධාවන පථ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කිරීම ජාතික වශයෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කාර්යයක් බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව එම කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීම, ඒ මැද පිහිටි පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාලගණන යන්ත්‍ර සවි කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැතිවරයා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය.