Tuesday, April 8, 2025
Home » ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහලේ 1995-2007 ආදි සිසුහු යළි පාසල් එති

ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහලේ 1995-2007 ආදි සිසුහු යළි පාසල් එති

by mahesh
December 20, 2024 12:59 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

වැල්ලම්පිටිය, සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 1995 වසරේ සිට 2007 දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ආදි සිසු සිසුවියන්ගේ සංවිධායකත්වයෙන් BACK 2 SCHOOL නමින් වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණ.

එම කාලය තුළ ඉගෙනුම ලැබූ ආදි සිසු සිසුවියන් දෙසිය දෙනකුට අධික පිරිසක් පාසැල් නිල ඇඳුමෙන් සැරසී එදින පාසල වෙත පැමිණ සිටියහ. සුපුරුදු ලෙස සීනුව නාද කිරීමෙන් අනතුරුව පන්සිල් සමාදන් වී උදෑසන රැස්වීම ද පවත්වා 7.30 සිට 1.30 දක්වා එම සිසුන් කණ්ඩායම් වශයෙන් පන්තිවල කාල පරිච්ඡේද අනුව එම කාලවකවානුවල සිටි ගුරුවරුන් විසින්ම පන්තිවල ගුරු සිසු හමුවීම් පැවැත්වීම මෙහිදී සිදු කෙරිණ. පැරණි ගුරුවරුන් සමඟ එක්ව පරණ පන්තිවලට ගොස් සුහද කතාබහක නිරත වීම ආදි සිසුන්ගේ පාසල් මතකය නැවත සිහිපත් කරවන සුන්දර අත්දැකීමක් විය.

පැරණි විදුහල්පතිවරු සහ ගුරුවරුන් ද බොහෝ දෙනකු මේ සඳහා පැමිණ සිටි අතර, කිහිප දෙනෙකු ජීවිතයෙන් සමුගෙන සිටි බවත්, තවත් අය අසනීප තත්ත්වයේ සිටි හෙයින් පැමිණ නොසිටි බවත් පැමිණි පිරිස සඳහන් කළහ. වර්තමාන විදුහල්පති ඉන්ද්‍රජිත් බොලුකදුර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී උත්සවයක් ද පැවැති අතර, එහිදී ආදි සිසුන් ගුරුවරුන් වෙනුවෙන් උපහාර දැක්වීමක් ද සිදු කර තිබේ.

විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන ප්‍රවීණ රංගන ශිල්පී ගීතා කාන්ති ජයකොඩි ද, පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරියන් කිහිප දෙනකු ද රජයේ උසස් නිලතල දරන බොහෝ පිරිස් ද පාසැල් නිල ඇඳුමෙන් පැමිණ සහභාගී වීම විශේෂත්වයකි. මෙහිදී ආදි සිසුන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ නවයක පමණ වියදමකින් ඉදිකරන ලද එළිමහන් කියවීම් ශාලාව ද විද්‍යාලයට පරිත්‍යාග කෙරුණි. ආදි ගුරුවරුන් විසින් ද රුපියල් හතළිස් අට දහසක මුදලක් විද්‍යාලය වෙත පරිත්‍යාග කරනු ලැබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT