ගම්පහ දිස්ත්‍රික්කය වසර ගණනක් මුළුල්ලේම ඩෙංගු අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, පසුගිය වැසි සමයෙන් පසුව මේ වන විට දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගීන් පන්දහසක් සහ මරණ හතරක් වාර්තා වී ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කය යළිත් වරක් ඩෙංගු අවදානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි ගම්පහ මහදිසාපති ලලින්ද ගමගේ මහතා පෙරේදා (18) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
ඒ අනුව, පසුගිය දා පැවති ඩෙංගු කමිටුවේදී අනාවරණය වූ කරුණු පරිදි දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ හතරක් සහ මී උණ රෝගයෙන් මියගිය 32ක් පිළිබඳව වාර්තා වී ඇතැයි ද දිසාපතිවරයා කීය. මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඩෙංගු මර්දන වැඩසටහනක් එතුමාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත්තේ යැයි දිසාපතිවරයා ප්‍රකාශ කළේය.
ප්‍රදේශයේ ජනතාවගේ වටිනා ජීවිත වසංගත රෝගවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන රාජ්‍ය නිලධාරින්ගේ සහාය ද ලබා ගනිමින් ඩෙංගු කමිටුව හා එක්ව සූදානම් කර ඇත. ඒ අනුව මෙම ඩෙංගු මර්දන වැඩසටහනේ මූලික පියවර මේ මස 21 වැනි සෙනසුරාදා උදෑසන 8.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාමනිලධාරි වසම් 1,117ම ආවරණය වන පරිදි සිදු කරන බැවින් ඒ පිළිබඳව මාධ්‍ය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැනුම්වත් කරන ලෙසත්, තමතමන්ගේ නිවාස පවිත්‍ර කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් දිසාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔහු කියා සිටියේ, මෙම ඩෙංගු මර්දන වැඩසටහනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතනය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ග්‍රාමනිලධාරිවරුන්, පොලිස් නිලධාරින්, සිවිල් සමාජ ක්‍රියාකාරින්, කෘෂිකර්ම නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයන් පන්දහසක් එක්වන අතර, නිවාස 60,000ක් එකම දිනක පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවයි.
නිවෙස් පරීක්ෂාවේදී ඩෙංගු මදුරුවන් බෝවන අපිරිසුදු ස්ථාන මෙන්ම මදුරු කීටයන් හමුවෙන නිවාස පිළිබඳව රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම්දීමටත් නිලධාරින් පියවර ගනු ඇත.