ශ්‍රී ලංකා ආබාධ සහිත පුද්ගලයන්ගේ බෞද්ධ සංගමයේ කළුතර දිස්ත්‍රික් සංගමය පිහිටුවීම පෙරේදා (18) කළුතරදී ආරම්භ විය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආබාධ සහිත පුද්ගලයන්ගේ බෞද්ධ සංගමයේ සභාපති ඩබ්.පී. බස්නායක මහතා පැවසුවේ, මේ වන විට ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් ප්‍රමාණය සියයට 17ක් වන අතර, පසුගිය කාලයේදී ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අවධානය යොමුවීම ඉතා අල්ප මට්ටමක පැවති බවයි.
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයකු පත්කිරීම තමන් ලද විශාල ජයග්‍රහණයක් බවද කී ඒ මහතා, ආබාධ සහිත වූවන් ඔවුන්ට ආවේණික වූ හැකියාවන් සහ කුසලතාවන්ට අනුව රජයේ රැකියා අවස්ථා ලබා ගැනීමටත් , බ්‍රේල් ක්‍රමයට ඇති පොත්පත් හිඟකම, අර්ධ නිවාසවල ජීවත්වන ආබාධ සහිත පුද්ගලයන්ට ඇතිවන ගැටලු, වැසිකිළි පහසුකම්, විදුලි බලය, ස්වයං රැකියා සඳහා පහසුකම් සහ අනුග්රාහකයන් ලබා ගැනීමටත්, ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව අයිතීන් දිනා ගැනීමටත් තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.