Home » දිඹුලාගල නිදන්ගල අවට නිදන් හොරු රජවෙලා

දිඹුලාගල නිදන්ගල අවට නිදන් හොරු රජවෙලා

by mahesh
December 20, 2024 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන කඳුමුදුණේ, නිදන්ගල ප්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ සහ බක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට සැලකෙන ස්ථානයේ, චෛත්‍යය ඇතුළු පරිවාස චෛත්‍යය, සඳකඩ පහන්, මල් ආසන, පුරාවස්තු රැසක් නිදන් හොරුන් විසින් විනාශ කර වනසා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මේ පිළිබඳව ආරක්ෂක අංශ නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් දැනුම්වත් කළද ඊට මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නැති බවත් කඳු මුදුණේ තිබූ ඉපැරණි චෛත්‍යය, සඳකඩපහන් ඇතුළු වටිනා පුරාවස්තු ස්ථාන හොරුන් විසින් වැනසීම නිසා ඓතිහාසික වටිනාකම්, අතීතයට පෙන්වීමට අවස්ථා නැති බවත් පුල්ලිගොඩ රජමහා විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ. නිදන් හෑරීමෙන් අනතුරුව හොරුන් විසින් දමා ගිය වයර්, පහන්, බාල්දි, තාච්චි ඇතුළු උපකරණ කිහිපයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

මීට දින කිහිපයකට පෙර සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන්ගල ප්‍රදේශයේ නිදන් හොරුන් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත්, රාත්‍රී කාලයේදී කඳු මුදුනේ ගල්වෙඩි දමන ශබ්ද පවා තමන්ට ඇසුණු බවත්, ඒ පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළද, බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බව සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ. මෙම පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව දිඹුලාගල පුරාවිද්‍යා කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ, ගම්වාසීන් සහ නාහිමියන් ඒ පිළිබඳව තම කාර්යාලය දැනුම්වත් කර නැති බවත්, තමන් එම ස්ථානයට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT