කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගියÓ එරාමිරකල් ජෙනිසික්Ó නමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් මඟින් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 1000ක මුදල් ප්‍රමාණයක් වංචා කළා යැයි කියන සිද්ධියට අදාළ තවත් සැකකාර අධ්යක්ෂවරුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකාර අධ්යක්ෂවරුන් දාහතර දෙනකු සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කෙරිණි.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එරාමිරකල් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ (55) සහ ඔහුගේ බිරිය වන ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර ලබන 9 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මීට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින එරාමිරකල් පෞද්ගලික සමාගමේ මූල්‍ය අධ්යක්ෂිකාවගේ හඬපට රස පරීක්ෂක වෙත යවා අධිකරණයට වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
මෙම දුරකතන සංවාද තුළ තිබෙන හඬපට තම සේවාදායකයාගේ නොවන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඒ. කරුණාසේන මහතා සඳහන් කරනු ලැබුවේ මෙම සමාගම විසින් ගිණුම් රාශියක් පවත්වාගෙන යමින් මහා ජනතාවගේ මුදල් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවය.
මෙම සැකකරු නොවැම්බර් මස 08 වැනි දින අලුයම 12.00ට මැලේසියාවේ ක්වාලාලම්පූර් එම්.එච්.189 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැන්වීය.
මෙම සැකකරුවන්හට මේ වන විට බැංකු ගිණුම් 25000ක ප්‍රමාණයක් තිබෙන බවත් ඒ හරහා සාමාජිකයන් 3000කට අධික පිරිසක් ආයෝජන කටයුතු සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව මෙම පිරමීඩ ජාවාරම ලංකාවේ සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් හැටඅට දෙනෙක් සහ නායකයන් තිස් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ව්‍යාජ පිරමීඩ ජාවාරම් මඟින් මේ වන විට කෝටි 200ක මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මෙම ව්‍යාජ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තුසිත ගුණසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පො.සැ. විචිත්‍ර සහ සෙනෙවිරත්න යන නිලධාරීන් දෙදෙනා අධිකරණයට කරුණු දැක්වීය.