Home » බ්ලෙන්ඩරේ වයරය දිගේ ආ මරුවා පසළොස් හැවිරිදි සිසුවිය බිලි ගනී

බ්ලෙන්ඩරේ වයරය දිගේ ආ මරුවා පසළොස් හැවිරිදි සිසුවිය බිලි ගනී

by mahesh
December 20, 2024 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ පුත්තලම සමූහ ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු
අනාරක්ෂිත ලෙස වෙනත් වයරයක් ඇමිණූ ඇඹරුම් යන්ත්‍රයට පොල් කැබලි දමා තිබූ ආකාරය සහ විදුලි සැරට ලක්ව මරණයට පත් දැරිය

නවගත්තේගම, හල්මිල්ලවැව ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අනාරක්ෂිත ලෙස නිවෙසේ තිබුණු ඇඹරුම් යන්ත්‍රයකින් (බ්ලෙන්ඩරයක්) පොල් කැබලි කුඩු කරගැනීමට යෑමේදී ඊයේ (19) විදුලිසර වැදී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුලක දෙවැනි දරුවා වන නඩරන්ජන් නිමල්ෂා දිලුනී නමැති දැරියක බව පොලීසිය සඳහන් කරයි. මේ දැරිය කැලේවැව විජය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි දැරියක බවද, දැඩි ආර්ථික අපහසුතා රැසක් මැද ජීවත් වූ මේ පවුලේ අයට හරිහැටි නිඳාගැනීමටවත් තැනක් ඔවුන් විසූ කුඩා නිවෙසේ නැතැයිද පොලීසිය සඳහන් කරයි.

මේ දැරියගේ මව හා පියා කුලි රැකියාවල නිරත අය වන අතර, මවුපියන් රැකියාවලට ගොස් නිවෙසට පැමිණීමට පෙර රාත්‍රී ආහාරයට සම්බෝලක් සැකසීම සඳහා දැරිය පොල් ගෙඩියකින් කොටසක් ගෙන එය කුඩු කර ව්‍යංජන සඳහා දැමීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙඳසලකින් රැගෙන ආ පොල් ගෙඩියක් දින කිපයකට පරිස්සම් කරගැනීමේ අරමුණින් මෙලෙස ඇඹරුම් යන්ත්‍රයට දමා කුඩු කරගැනීමට කටයුතු කර ඇති වග හෙළි වූ බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් දැරිය කැබලි පොල් කුඩු කරගැනීමට යොදාගත් ඇඹරුම් යන්ත්‍රය දැඩි අනාරක්ෂිත තත්ත්වයක තිබී ඇති අතර, ඇඹරුම් යන්ත්‍රයට තවත් වයර දෙකක් අමුණා එය විදුලි පේනුවට ගැසීමට යෑමේදී මෙලෙස විදුලිසර වැදීමකට ලක්ව ඇති බව කියයි. විදුලිසර වැදීමෙන් තම සොහොයුරිය දඟලනු දුටු ඇයගේ කුඩා සොහොයුරා දිව ගොස් ප්‍රධාන විදුලි පරිපථය ක්‍රියා විරහිත කර ඇති නමුත් ඒ වන විට රාත්‍රිය වී තිබීම නිසා පැවති දැඩි අන්ධකාරයට බිය වූ ඔහු නැවත ප්‍රධාන විදුලි පරිපථය ක්‍රියාත්මක කර ඇති බවත්, එහිදී බරපතළ ලෙස දැරිය විදුලිසර වැදීමට ලක්ව ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. කුලී රැකියාවලට ගිය පියා හා මව ඒ වන විටත් නිවෙසට පැමිණ නොතිබීම නිසා අසල්වැසියන්ට කෑගසා නිවෙසට ගෙන්වාගැනීමට සොහොයුරා කටයුතු කර තිබී ඇති බව පොලීසිය කියයි.

අසල්වැසියන් පැමිණ දැරිය විදුලි රැහැනින් ඉවත් කර කඩිනමින් නවගත්තේම රෝහලට රැගෙන ගොස් තිබූ අතර, ඒ වන විටත් දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටි දැරිය කඩිනමින් පුත්තලම මූලික රෝහලට යොමු කිරීමට පියවර ගෙන ඇති නමුත් ඒ වන විට දැරිය මරණයට පත්ව ඇති බව කියයි. නවගත්තේම පොලීසියේ පොලිස් සැරයන් (36236) එම්.එම්. විජේරත්න මහතා මේ මරණය සම්බන්ධ පොලිස් පරීක්ෂණ සඳහා එක්ව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT