මේ දිනවල හිටපු ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදීන් රැසක්ම ජනාධිපති අරමුදලෙන්, හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනකු යටතේම ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් මුදල් වෙන්කරවා ගැනීම පිළිබඳ ජනතාව අතර කතාබහක් පවතියි. ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලැබීම ඉතා දුෂ්කර සහ වෙහෙසකර කාර්යයක් වන බව අඩු ආදායම්ලාභී ජනතාව පවසති. එය එසේ තිබියදී අති විශාල වශයෙන් දේශපාලනඥයන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ ඇතැම්හු විමතිය පළ කරති. ඒ පිළිබඳ මේ මුදල් ලබා ගත් බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක්ම අදහස් දැක්වූහ. මේ ලිපිය ඒ ඇසුරෙන් සැකසිණ.
මමත් සල්ලි ගත්තා ඒත් සදාචාරමය ප්‍රශ්නයක් තිබෙනවා
– හිටපු පා.ම. විමලවීර දිසානායක
ස්ථාවර ආදායම් මාර්ග හා දේපළ තිබෙන මැති ඇමැතිවරු තමන්ගේ සෞඛ්‍ය වියදම් සඳහා ජනාධිපති අරමුදල භාවිත කිරීම සාපරාධී අපරාධයක් හෝ වංචාවක් හැටියට සලකන්න බැහැ. නමුත් එය මහජන නියෝජිතයන්ගේ දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. ජනතාවට නොමැති වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට ලැබීම ගැටලුවක් හැටියට මතු කරන්න පුළුවන් කරුණක්.
පොදුවේ පිළිගන්න අකමැති වුණත් මහජන නියෝජිතයන් විශේෂිත කොටසක් තමයි. ඔවුන්ට කොළඹින් නිල නිවාස ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. රියැදුරු හා අනෙකුත් පහසුකම් ලැබෙනවා. අවුරුදු 5ක සේවා කාලය සම්පූර්ණ කළ මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුපක් දෙනවා. වෙනත් රජයේ සේවකයන්ට මේ ආකාරයේ පහසුකම් ලැබෙන්නේ නැහැ. මේ ආකාරයේ පහසුකම් මහජන නියෝජිතයන් දෙන්නේ ඔවුන් පොදු පුරවැසියන්ට වඩා විශේෂ ලෙස සැලකිය යුතු පිරිසක් නිසයි.
මේ මන්ත්‍රීවරු ජනාධිපති අරමුදලේ මුදල් භාවිත කර හෝටල් බිල් හෝ විදේශ සංචාර ගිහින් නැහැ. ඒ මුදල් ගත්තේ සෞඛ්‍ය වියදම් පියවා ගැනීමටයි. වෙන විදිහකට කිවුවොත් ජීවිතය බේරා ගන්න.
මට වකුගඩු සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරයා නිර්දේශ කළා. ඒ සැත්කම නොකළොත් මරණය තෝරා ගන්න වෙනවා. අවශ්‍ය වියදම හොයා ගන්න මා ළඟ තිබුණු වාහන දෙකම විකුණුවා. මේ ආකාරයේ සැත්කමක් කිරීමේ දී සැත්කමට මුහුණ දෙන කෙනා ගැන වගේම පරිත්‍යාගශීලියා ගැනත් බලන්න වෙනවා. ඔහුගේ බෙහෙත්හේත්වලටත් වියදම් කරන්න වෙනවා.
අරමුදල මම ඉල්ලූ මුළු මුදලම දුන්නේ නැහැ. රෝහල් වියදම් පමණක් දුන්නා. වකුගඩු සැත්කමින් පසු ලේ මාරු කිරීමට වුවමනායි. ඒ සඳහා මට රජයේ රෝහලකට යන්න හැකියාවක් නැහැ. මිනිස්සු අතර දේශපාලකයන්ට තියෙන්නේ පුදුමාකාර වෛරයක්. ඔවුන් අප දකින්නේ ඔවුන්ගේ ලේ උරා බොන කූඩැල්ලන් විදියටයි. රජයේ රෝහලකට ගියොත් මහජනයාගේ සම්පත් භුක්ති විඳින්න එනවා කියලා ඔවුන් චෝදනා කරනවා. ඒ නිසා මට පුද්ගලික රෝහලකට යන්න වෙනවා. වරකට ලේ මාරු කරන්න රුපියල් 4,80,000ක් යනවා. සැත්කමින් පසු කළ යුතු පරීක්ෂණයට රුපියල් 40,000 හා 60,000 අතර මුදලක් යනවා. මට මන්ත්‍රී විශ්‍රාම වැටුපවත් එච්චර ලැබෙන්නේ නැහැ.
මෙයට අමතරව මට හදවත් සැත්කමක් කර තිබෙනවා. ඒ සඳහා මම ජනාධිපති අරමුදලෙන් උදව් ඉල්ලුවේ නැහැ. මගේ මල්ලිගේ සැත්කමකට ජනාධිපති අරමුදලේ මුදල් ඉල්ලු අවස්ථාවේ දෙන්න ප්‍රමාද වුණා. අනුමත වන විට ඔහු මිය ගිහින්. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. මම අපේ ප්‍රදේශයේ මිනිස්සුන්ට අරමුදලෙන් සෞඛ්‍ය වියදම් ලබාදී තිබෙනවා. මේ අරමුදල බොහෝ ප්‍රයෝජනවත්. මේ ක්‍රමය හරි නැත්නම් එයට විධිමත් ක්‍රමයක් සකස් කළ යුතුයි. අපි ගත්තේ තිබුණ ක්‍රමවේදයට. එහි වැරැද්දක් නැහැ.
මේක ගැලරිය පිනවීමක්
– හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න
ජනාධිපති අරමුදලෙන් මට මේ මුදල ලැබුණෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේදී. මට ඇති වූ හදවත් රෝගයකට ප්‍රතිකාර ගැනීමේ කටයුතු සඳහායි මේ මුදල ලැබුණෙ. මම ප්‍රතිකාර සඳහා යොමුව සිටියේ සිංගප්පූරු රාජ්‍යය වෙතයි’ මම කිසිම ඉල්ලීමක් නොකරයි හිටපු ජනාධිපතිතුමා විසින් මේ මුදල ලබා දුන්නෙ. ඇත්තෙන්ම ජනාධිපතිවරයකුට බලතල තිබෙනවා ජනාධිපති අරමුදලේ මුදල් මේ විදිහට යොදවන්න. මෙතන කිසිදු නීති විරෝධී දෙයක් වෙලා නෑ. මේ මුදල වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලැබුණේ නීත්‍යනුකූල විදිහටයි. ඒ නිසා මෙතැන කිසිදු නීතියෙන් පිට දෙයක් වෙලා නෑ.
මේ කාලයේදී මට ‘සිං හෙල්ත්’ සමඟ මෙරට වෛද්‍යවරුන් සහ එම ක්ෂේත්‍රය සම්බන්ධ පිරිස් වෙත අවශ්‍ය පුහුණුවීම් වැඩමුළු අවස්ථා ලබා දීමටත් ඉඩ ලැබුණා. ඇත්තෙන්ම මේ සඳහා රජයේ මුදල් යෙදුවා නම් රුපියල් ලක්ෂ දහසකට වඩා ආණ්ඩුවට වියදම් වෙනවා. ඒත් මට පුළුවන් වුණා එය නොමිලේ ක්‍රියාත්මක කර ගැනීමට, මම ඇමැති ධුරයේ නැතත් ඒ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන සතුටුයි.
ජනාධිපති අරමුදලෙන් දේශපාලනඥයන් වෙත පමණක් නොවෙයි, කලාකරුවන්, සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ අංශවල පිරිස් වෙත වෛද්‍ය ආධාර දී තිබෙනවා. ජාතික වශයෙන් වැදගත් යැයි හැඟෙන කරුණක් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න ජනාධිපතිට පුළුවන්. ඒ නිසා මේ දේවල් මේ ආණ්ඩුව අලුතින් හොයා ගත් ඒවා වත් නීතියෙන් පිට වැඩවත් නොවෙයි. අනෙක ජනාධිපති අරමුදලෙන් මට ලැබුණ ආධාරය රහසක් නෙවෙයි. මම මේ ගැන අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. ඇත්තෙන්ම මේ වගේ දේවල්වලින් ගැලරිය පිනවීම වෙනුවට ආණ්ඩුව වෙත ලැබුණ විශාල ජනවරම අනුව රට වෙනුවෙන් වැඩ කරන්න කියන ඉල්ලීම මම කරනවා.
මුදල් ගත්තේ වෛද්‍ය වාර්තා මත
– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ
“මාතලේ දිස්ත්‍රික්කයේ තවත් මන්ත්‍රීවරුන් මේ අරමුදලින් අපට වඩා ලක්ෂ සියය එකසිය දහය ආදී මුදල් ගත්තා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඉඳලා මන්ත්‍රීවරුන් බහුතරයක් මේ අරමුදලින් විශාල ගණන්වලින් මුදල් අරන් තියෙනවා. ඒත් පෙන්වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේ නම් දෙක විතරයි. ඒ ගැන කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න උගත් වෛද්‍යවරයෙක් මේ ගැන කියූ එක ගැනත් හරිම කනගාටුයි. වෛද්‍යවරුන් අය කරන ගණන බෙහෙත්වලටත් වඩා වැඩියෙන් මෙහි දක්වා තියෙන්නෙ. ඒ වෛද්‍යවරයා ප්‍රකාශ කළ විදියට මේ මුදල් මුළු පරම්පරාවට ගත්තා කියන එක බරපතළ වරදක්. සිල්වලා දහදෙනෙක් හිටියා කියන්නකෝ. පෙරේරලා පස්දෙනෙක් හිටියා කියන්නකෝ. ඒ පරම්පරාව කොහෙද හොයන්නෙ. ඒ නිසා මේක හරිම කැත වැඩක්.
අනෙක මන්ත්‍රීවරුන් විතරක් නෙමේ සාමාන්‍ය ජනතාව වගේම වෛද්‍යවරුනුත් මේ අරමුදලින් මුදල් අරන් තියෙනවා. ඒ නිසා ජේ. ආර්. ජනාධිපතිතුමාගේ කාලෙ ඉඳලා මේ අරමුදලින් මුදල් ගත්ත අයගේ නම් පුළුවන් නම් මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කරන්න කියන්න. සාමාන්‍ය මිනිසුන්ට තමා මෙයින් මුදල් වැඩියෙන්ම දීලා තියෙන්නේ. අපට වුවමනා මුදලේ සීමාව ඉල්ලන්නේ අපි නෙමේ. අපි භාර දෙන්නේ වෛද්‍යවරයා නිර්දේශ කර දී තිබෙන වෛද්‍ය වාර්තාව. එයට හරියන විදියට තමා අනුමත වෙන මුදල දෙන්නෙ. ඇත්ත කතාව ඒකයි.
අසනීපයට වැයවූ මුදලෙන් කොටසක් ලැබුණා
– හිටපු පා. ම. ජගත් කුමාර
හදිසියේ හෘද අසනීප තත්ත්වක් හට ගැනීමත් සමඟ ස්ටෙන්ත් එකක් දැමිය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කළා. ඒ අනුව සාමාන්‍ය මිනිස්සු ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලන විදියට ලිඛිත ඉල්ලීමක් කළා. ඒ අනුව මට වැය වන මුදලෙන් කොටසක් ලබා දුන්නා. රුපියල් ලක්ෂ විසි ගණනක් සැත්කමට වියදම් වුණා. ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක් ලැබුණා. එය මගේ අතට ලැබුණේ නැහැ. අදාළ පුද්ගලික රෝහල වෙත එම මුදල ලබා දී තිබුණා. ඒක ජනාධිපති අරමුදල අවභාවිත කිරීමක් නෙවෙයි. අනෙක මම රුපියල් ලක්ෂ දෙතුන් සීයක් අරගෙන නැහැ. දේශපාලනඥයන් කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. අපි හොරකම් කරලා, තැබෑරුම් දාලා මුදල් හොයලා නැහැ. ඒ නිසා හදිසි අවස්ථාවකදී අපට මුදලක් ලබාගන්න තිබෙන තැනක් මේක. එතැන මුදල් අවභාවිත කර නැහැ. මම ඒ මුදල් ඇහැටවත් දැක්කේ නැහැ. හදිසි අසනීප තත්ත්වයකදී ලබාදෙන මුදල් විදියට තමයි ඒ මුදල මට ලැබුණේ.
මං ලොකු දෙයක් අරන් නැහැනේ!
– හිටපු පා.ම. එස්. සී. මුතුකුමාරණ
මට අනුන්ට අතපාන්නට කොහෙත්ම වුවමනාවක් නැහැ. ඒත්, අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බව මං දිනක් එවකට හිටපු කථානායකතුමන්ට කිවුවා. ඒ මෙයින් මාස හත, අටකට කලින්. එවේලේ එතුමා මට ජනාධිපති අරමුදලෙන් ආධාරයක් ඉල්ලා ගනිමු කියලා යෝජනා කළා. ඊට කටයුතු සලසා දුන්නා. ඒ අනුව මං අයදුම් කළා. එහිදී මට ජනාධිපති අරමුදල මඟින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි ද දන්වා තිබුණා.
මං ඊට අවශ්‍ය කරන වෛද්‍ය වාර්තා සියල්ල ඉදිරිපත් කළා. පසුව මට රුපියල් ලක්ෂ 4ක් පමණ වන ඒ මුදල ජනාධිපති අරමුදලෙන් ලැබුණා. මං ඒ මුදලට මගේ මුදලුත් එකතු කරලා ප්‍රතිකාර ගත්තා. එච්චරයි. මං හිතන්නේ නැහැ ඒක එච්චර ලොකු දෙයක් කියලා. අනෙක මං ගොවියෙක්. කාටවත් එයින් මං අවැඩක් කරා කියලා මං හිතෙන්නේ නැහැ.
නිසි විමසීමකින් තොරව කළ හෙළිදරව්වක්
– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා කරන ලද ප්‍රකාශයේ මාගේ නම ද සටහන්ව තිබූ බැවින් ඊයේ දින කොළඹ ජනාධිපති අරමුදලේ කාර්‍යාලයට ගොස් ඒ පිළිබඳ විමසීමක් ලිඛිතව සහ වාචිකව කළා. 2009 මාර්තු මාසයේදී මා අකුරැස්ස ගොඩපිටිය ජුම්මා දේවස්ථානයේ පැවැති ජාතික නබී නායක සැමරුමට සහභාගිවූ අවස්ථාවේ මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරුව දැඩි ලෙස තුවාල ලබා, රෝගාතුරව, දින 21ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා. එහිදී ඇස, කන සහ උදරයේ ශල්‍යකර්මවලට භාජනය වුණා. බෝම්බය පිපිරීමේ හේතුවෙන් මාගේ කන් බෙර 2ම (Ear Drum eruption) හානි වුණා. ඉන් අනතුරුව ද දේශීය සහ විදේශීය ප්‍රතිකාර සඳහා මාගේ පුද්ගලික ධනය රු. මි. 4.5ක් පමණ වියදම් කළා. එම ත්‍රස්ත ප්‍රහාරයේදී 14 දෙනකු ඒ ස්ථානයේම මැරී වැටුණු තැනක මෙලෙස ජීවත්වීමට හැකිවීම ද දෛවෝපගත සිදුවීමක් වශයෙන් මා සලකනවා. 2011 වසරේ මේ සිදුවීම වෙනුවෙන් මාහට රු. ලක්ෂ 3ක් අරමුදලෙන් අනුමතවී ඇති බව පසුගිය දින ප්‍රකාශ කරන ලද අතර එම මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අදාළ සටහන් විමසීමකින් තොරව විමර්ශන කණ්ඩායමක් පැමිණ රැගෙන යන ලද ලිපිගොනුවල අඩංගු කරුණුයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ තිබෙන්නේ.
මම ජනාධිපති අරමුදලට ඉල්ලීමක් කර මේ මුදල ගත්තේ නැහැ
– හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර
2019 වසරේදී මම ශාරීරික ව්‍යායාමවල නිරතවී සිටින විට මට හෘදයාබාධයක් ඇති වුණා. ඒ වෙලාවේ මාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා. ජයවර්ධනපුර රෝහල කියන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල නෙවෙයි. එය සාමාන්‍ය රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක්. එහිදි මට හෘදයාබාධයට අදාළව ශල්‍යකර්මයක් සිදුකළා. දවස් තුනක් විතර මම රෝහල්ගතවී සිටියා. හෘදයාබාධයක් වැලදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ මම රෝහල්ගතව සිටියදි එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මාව බැලීමට රෝහලට පැමිණියා. ඒ වෙලාවේ එතුමා කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා, මගේ රෝහල් බිලට අදාළ ගෙවීම් ජනාධිපති අරමුදලින් සිදුකරන ලෙසට. එහෙම නැතිව මම ජනාධිපති අරමුදලට ඉල්ලීමක් කර මෙම මුදල ලබාගත්තේ නැහැ.මම දන්න විදිහට රෝහල් බිල ලක්ෂ තුනක් හෝ තුනහමාරක්. එය මට නිශ්චිතව කිව නොහැකියි. බිල බලන්නේ නැතිව. කොහොම වුණත් මේ ප්‍රකාශ සිදුකරන්නේ අපගේ කටවල් වසාදැමීමේ අරමුණින් සහ පළිගැනීමේ චේතනාවෙන්. මට ගෙවලා තිබෙන්නෙත් සාමාන්‍ය මිනිසුන්ට ගෙවන ආකාරයේ මුදලක් මිස මම ජනාධිපති අරමුදලට ඉල්ලීමක් කර මෙම මුදල ලබාගත්තේ නැහැ.ඒ වගේම එහිදි අයදුම්පත පිරවීමේදී මුලකුරු සමඟ නම කියලයි තිබෙන්නේ. ඒ අනුවයි මම මුලකුරු සමඟ නම ඇතුළත් කර තිබෙන්නේ. එහෙම නැතිව වෙන අරමුණකින් නෙවෙයි.
ජනාධිපති අරමුදල පිහිටුවීමේදී 1978 අංක 07 දරන පනත අනුව ජනාධිපතිවරයාට අභිමත කටයුත්තක් කිරීමට බලය තිබෙනවා. රෝගි වූ වෙලාවක යම් ප්‍රතිපාදනයක් ලබාදීම වරදක් නම් වත්මන් ආණ්ඩුවට යෝජනාවක් ගෙනවිත් එය ඉවත්කිරිමේ හැකියාව තිබෙනවා. ජාතික ජන බලවේගයත් මැතිවරණ ව්‍යාපාරයේදි කියපු දේවල් කරනවද කියන ගැටලුව තිබෙනවා. බලයට පත්වන විමට පෙර ඒ අය කිව්වේ, ගෙවල් ගන්නේ නැහැ, වාහන ගන්නේ නැහැ කිව්වා. නමුත් ඒ දේවල් කරනවද දැන්. රියැදුරන් සමඟ වාහන පාවිච්චි කරන්නේ.