E-8 කාණ්ඩයේ රැකියා සඳහා හොර පාරෙන් යැවීමට කළ සැලසුම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලට අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුමට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අද දවස ලෝකයට විශේෂ දවසක්. ලංකාවට සුවිශේෂී දවසක්. ලෝකය පුරාම විසිරී සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කළ දවසක් ‘ජාත්‍යන්තර සංක්‍රමණික දිනය’. මේක ලෝකයට විශේෂ වෙලා, අපේ රටට සුවිශේෂී වෙන්නේ ඇයි? අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය මේ විදෙස්ගත ශ්‍රමිකයන්. දැවැන්ත ආර්ථික අර්බුදයකට අප මුහුණ දුන් අවස්ථාවේදීත්, එයින් මිදී ක්‍රමානුකූලව ඔළුව උස්සමින් තියෙන මේ අවස්ථාවේදීත් ඔවුන් මේ රටට එවන ‘පවුල් ප්‍රේෂණ’ (Family remittance) නොතිබුණා නම් මේ රට තවත් අගාධයෙන් අගාධයට යන බව අමුතුවෙන් කිව යුතු නෑ.
අපට මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගෙන ගිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් වෙලා තියෙනවා. අවුරුදු 4ක කාලයක් පුරා වාරික කිහිපයකට රටට ප්‍රදානය කළේ ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක්. අවුරුදු 4ක කාලයකට අයි.එම්.එෆ්. එකෙන් ලැබුණු ඩොලර් බිලියන 3ට වඩා වැඩි මුදලක් මේ අවුරුද්දෙ මුල් මාස 8ක කාලයේ අපට ලැබුණේ අපේම විදෙස්ගත ඥාතීන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්. මේ අවුරුද්දෙ අගෝස්තු දක්වා ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම ඇ.ඩො. බිලියන 4.28ක්. මහ බැංකු වාර්තාවලට අනුව මේ නොවැම්බර් මාසයේ යම් පසුබෑමක් තිබුණත්, මේ අවුරුද්දෙ ජනවාරි සිට නොවැම්බර් දක්වා රටට ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 5,961.6ක්. එහෙමත් නැතිනම් බිලියන 5.96ක්. අපි අපේ රටේ ආර්ථිකය ගොඩනඟන මේ රටවිරුවන්ට ගරු කළ යුතුයි. ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් දිය යුතුයි.
පසුගිය රජය කාලයේ මේ වගේ රට රැකියාවලට ගිය අපේම සහෝදර සහෝදරියන්ට ‘රටවිරුවන්’ කියලා ඒ ගරු සරු නම්වලට මුවාවෙලා කරලා තිබුණේ හොඳ වැඩ නෙවෙයි. උදාහරණයක් විදිහට රටවිරුවන්ට සලකන්න කියලා විද්‍යුත් වාහන ආනයනය කරන්න අවසර දුන්නා කියලා ලොකු ප්‍රචාරයක් ගියා. ඒත් ඇත්තටම සිද්ධවෙලා තිබුණේ මහා පරිමාණ වංචාවක්. ඒ බව විගණන වාර්තාවලින් පවා ඔප්පු වෙලා තියෙනවා. කොරියාවේ රැකියා සඳහා හරි පාරෙන් යැවීම වෙනුවට E-8 කැටගරියේ රැකියා සඳහා හොර පාරෙන් යවලා පහුගිය කාලේ ප්‍රශ්නයක් වුණා. වර්තමානයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පැමිණිලි කර දැන් විමර්ශන යනවා.
ජනාධිපතිවරණයට පෙර අප ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙළට සමගාමීව තෝරාගත් ප්‍රධාන විෂය ක්ෂේත්‍ර ගැන වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ජනතාව ඉදිරියේ තිබ්බා. එහිදී විදේශ රැකියා ප්‍රතිපත්තිය ‘පුනරුදයෙන් එතෙර අපිට’ කියන වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ‘සංක්‍රමණිකයන්ගේ හඬ ජාලයේ’ ප්‍රධානතම ඉල්ලීමක් වෙන විදේශගත ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හදන්න අපි පොරොන්දු වෙලා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන් අවස්ථාවේදීත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කළ ඉල්ලීමට එකඟවෙමින් ජනාධිපතිවරයාත් එය ඉටු කරන බවට එකඟ වුණා. මේක ජනතාවගේ ආණ්ඩුවක්.
අපි ජනතාවට දුන් පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා. විදෙස් රැකියාවලට යන අයගේ පවුල්වල සුබසාධනය, අඩු පොලියට නිවාස සාදා ගැනීමට ණය පහසුකම් සැලසීම ආදී බොහෝ දේ අපේ වැඩපිළිවෙළේ තියෙනවා. මේ දේවල් කරන්න වඩා හොඳ විදේශ රැකියා ක්ෂේත්‍රයක්, සංක්‍රමණික කර්මාන්ත ක්ෂේත්‍රයක් ගොඩනඟා ගැනීමට ඔබ වැනි සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහාය අපට අවශ්‍යයි.”
මේ අවස්ථාවට එම සංවිධාන ජාලයේ නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත