ලන්ඩන් නුවර පොලීසිය විසින් නත්තල් සමයේ කාර්යබහුල ලිවර්පූල් වීදියේ දුම්රිය ස්ථානයෙන් සැක කටයුතු ගමන් මල්ලක් සොයා ගැනීම හේතුවෙන් පෙරේදා උදෑසන කාර්යාලීය වේලාවේ දුම්රිය ස්ථානයට පැමිණ සිටි සිය ගණනක මගීන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
සියලු මගීන්ට දුම්රිය ස්ථානයෙන් ඉවත් වන ලෙස නිවේදනය කරමින් සයිරන් නළා අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයි ද, කලබලයට පත්වීමෙන් මගීන් අතර දැඩි නොසන්සුන්තාවක් පැතිරී ගොස් ඇතැයිද බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම සැක කටයුතු ගමන් මල්ල සොයාගෙන ඇත්තේ දුම්රිය ස්ථානයේ මුර සංචාරයක නිරත වූ පොලිස් නිලධාරින් දෙදෙනකු බවත්, අනතුරුව ඉහළ නිලධාරීන්ට සහ දුම්රිය ස්ථානයේ පාලනාධිකාරියට දැනුම්දීමෙන් පසු මගීන් ඉවත් කිරීමට පියවර ගත් බවත් වාර්තා වේ. එම තත්ත්වය මත දුම්රිය ස්ථානයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සහ ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇති අතර, බෝම්බ නිෂ්ක්‍රිය විශේෂඥයන් ගෙන්වා වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.