මාස ගණනක් පුරා බිඳ වැටී තිබූ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමටත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ ගනුදෙනුව අවසන් කිරීමටත් දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණෙනු ඇතැයි සටන් විරාම ගිවිසුම සඳහා නිල නොවන මට්ටමෙන් මැදිහත්වී සිටින පලස්තීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමැති ඉස්රායිල් කාට්ස් ද ප්‍රකාශ කර ඇත්තේ පෙර නොවූ විරූ ආකාරයෙන් ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට එළැඹීම සඳහා රජය අවතීරණ වී සිටින බවය.
අදියර තුනකින් යුතුව ක්‍රියාත්මක කිරීමට නව සටන් විරාම ගිවිසුමට අනුව පළමු දින 45දී හමාස් සංවිධානය විසින් රඳවා තබා සිටින සිවිල් වැසියන් සහ සෙබළියන් නිදහස් කිරීමටත්, ගාසා තීරයේ නගර මධ්‍යයේ ස්ථානගතවි සිටින ඊශ්‍රායල හමුදාව ඉවත් කිරීමටත් යෝජනා වී ඇති අතර, දෙවැනි අදියර යටතේ සෙසු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමට සහ ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට යෝජනා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය මුළුමනින්ම නිමාවට පත් කිරීම තුන්වැනි අදියරේදී සිදු කිරීමට යෝජනා වූ බව වාර්තා වේ. මාස 14ක් පුරා ඇවිළී ගිය ඊශ්‍රායල- හමාස් යුද්ධය නිමා කිරීමට අමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව මැදිහත් වූ අතර, නව සටන් විරාම ගිවිසුම සම්බන්ධ මූලික කටයුතු මේ වනවිට කටාර් රාජ්‍යයේදී සිදු වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.