ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය නිමාවෙද්දී සිය පළමු තරගය ජයගත් තිසර පෙරේරා නායකත්වය දරන කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම විසින් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කළම්බු ජගුවර්ස් පිල තරගාවලියෙන් ඉවතට ඇද දැමුවේය. කැන්ඩි බෝල්ට්ස් පිලේ මේ ජයත් සමඟ නුවරඑළිය කිංග්ස් පිල ද ලකුණු සටහනේ 5 වැනි තැනට පත්වී තරගාවලියෙන් ඉවතට විසිවී ගියේය. ඒ අනුව අද පැවැත්වෙන ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ජැෆ්නා ටයිටෑන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ගෝල් මාවලස් හා කැන්ඩි බෝල්ට්ස් යන කණ්ඩායම් හතර එක් විය. තරගාවලියෙන් ඉවතට ගිය කළම්බු ජගුවර්ස් පිලට ඇන්ජලෝ මැතිව්ස්, මතීෂ පතිරණ, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස් හා ඩිල්ෂාන් මධුසංඛ වැනි ජාතික තලයේ ක්‍රීඩකයන් ඇතුළත්ව සිටි අතර, නුවරඑළිය කිංග්ස් පිලට නායක අවිශ්ක ප්‍රනාන්දු, කසුන් රාජිත, ධනුෂ්ක ගුණතිලක, දුෂාන් හේමන්ත, ළහිරු මධුසංඛ හා චාමික කරුණාරත්න වැනි මුල් පෙළේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කළහ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති කැන්ඩි බෝල්ට්ස් – නුවරඑළිය කිංග්ස් අතර තරගයේදී කැන්ඩි බෝල්ට්ස් පිල ලකුණු 5කින් ජයග්‍රහණයේ මාවතට යොමු කළ තිසර පෙරේරා සිය ඕවර දෙකේදී ලකුණු 11කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.
කැන්ඩි බෝල්ට්ස් පිල කඩුලු 9කට ලකුණු 111 (ඕවර 10) පැතුම් නිස්සංක 41, දිනේෂ් චන්දිමාල් 13, ෂෙහාන් ජයසූරිය 33 (කසුන් රාජිත 16/4, ළහිරු මධුසංඛ 9/2)
නුවරඑළිය කිංග්ස් පිල කඩුලු 5කට ලකුණු 106 (ඕවර 10) කයිල් මිලර්ස් 36, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 50 (තිසර පෙරේරා 11/2, අරිනෙස්ටෝ වීසා 29/2).
කුසල්ගේ ගිනිකෙළි සංදර්ශනයෙන් පල්ලෙකැලේ රත්වෙයි
ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දර්ශනීය පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 23කදී හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 76ක් ලබා මෙතෙක් පිතිකරුවකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු ගණන ඊයේ වාර්තා කළේය. ඒ සමඟ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ ජැෆ්නා ටයිටන්ස් පිල මෙවර තරගාවලියේ පිට පිට 5 වැනි ජයග්‍රහණය වාර්තා කොට පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ ස්ථානය වෙන්කර ගත්තේය.
කමිඳු මෙන්ඩිස් යැවූ 6 වැනි ඕවරයේ පන්දු 4කදී දැවැන්ත හයේ පහර 2ක් හා හතරේ 2ක් එල්ල කළ කුසල් මෙන්ඩිස් තරගය ඉක්මනින්ම නිමාකර දැමුවේය. අසිත ප්‍රනාන්දු යැවූ 4 වැනි ඕවරයේදී ලකුණු 24ක් ලබා ගත් කුසල් – අසලංක යුගලය රමේෂ් මෙන්ඩිස් යැවූ 5 වැනි ඕවරයේදී ලකුණු 22ක් සොරා ගත්තේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මේ තරගයේදී කළම්බු ජගුවර්ස් පිල කඩුලු 8කට ලකුණු 99ක් ලබාගත් අතර, ජැෆ්නා ටයිටන්ස් පිල ඕවර 5.4කදී කඩුල්ලක් දැවී ලකුණු 100ක් ලබා ගත්තේය.
කළම්බු ජගුවර්ස් පිලේ සියලු අපේක්ෂා බිඳහෙළූ දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ලකුණු 5කට කඩුලු 3ක් ලබාගත් අතර, ඔහු විසින් ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ජලෝ පෙරේරා හා පාකිස්තානයේ අසීෆ් අලි ක්‍රීඩාගාරයට යැවීය.
කළම්බු ජගුවර්ස් පිල කඩුලු 8කට ලකුණු 99 (ඕවර 10) කමිඳු මෙන්ඩිස් 17, නජිබුල්ලා සද්‍රාන් 12, අසීප් අලී 18, රමේෂ් මෙන්ඩිස් නොදැවී 28 (ළහිරු කුමාර 19/2, ඩේවිඩ් වයිස් 5/1, ජෝර්ජ් ගාර්ටන් 30/1, දුනිත් වෙල්ලාලගේ 5/3)
ජැෆ්නා ටයිටන්ස් පිල කඩුලු 1කට ලකුණු 100 (ඕවර 5.4) කුසල් මෙන්ඩිස් නොදැවී 79, චරිත් අසලංක නොදැවී 16 (ඇන්ජලෝ මැතිව්ස් 11/1)