ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඩෙංගු කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ හා අනෙකුත් බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක අතර ප්‍රමුඛ දිස්ත්‍රික්කයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ, 2024 වර්ෂයේදී ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එම වැඩසටහන් මඟින් ඩෙංගු උවදුර යම් ප්‍රමාණයකට පාලනය කිරීමට හැකි වී ඇති බව මෙම කමිටුවේදී ප්‍රකාශ විය. දැනට පවතින කාළගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ඇති විය හැකි ඩෙංගු අධි අවදානම අවම කර ගැනීම සඳහා එළැඹෙන 21 වැනිදා විශේෂ ඩෙංගු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන ඇති බව දිසාපති ලලින්ද ගමගේ මහතා කීය. මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් (ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්), කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු අනෙකුත් සියලුම නිලධාරීන්ගේ සහයෝගය ලබාගෙන ග්‍රාම නිලධාරී වසමක අවම වශයෙන් නිවාස 50ක් පරීක්ෂා කිරීමට හා නිවැසියන් දැනුවත් කිරීම වැඩසටහනේ අරමුණ බවත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස ඒකක 60,000ක් එදින ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වැඩසටහන දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් සියල්ලෙහිම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු 5,000ක පමණ රජයේ නිලධාරීන්, සිවිල් සංවිධාන හා ප්‍රජා මූල සංවිධානවල සහය ලබා ගැනීමට නියමිතය.