මහර බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ලෙන් වෙඩි වැදී මියගිය රැඳවියන් එකොළොස් දෙනා සම්බන්ධ නඩුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව වසා දැමීමට වත්තල මහේස්ත්‍රාත් ධම්මික උඩුවෙවිදාන මහතා ඊයේ (17) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියට නීතිමය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවට සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඉදිරිපත් කර ඇති බවය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා නීතිඥ අචලා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මහර බන්ධනාගාරය සතු මිලියන 18ක දේපළවලට රැඳවියන් හානි සිදුකර තිබූ බවත් එවැනි කැරැල්ලක් පැවැති අවස්ථාවක බන්ධනාගාර ආඥා පනතට අනුව පලායන රැඳවියන් මෙල්ල කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ අවම බලය යොදා රාජ්‍ය දේපළ මෙන්ම නිලධාරීන්ගේ ජීවිත බේරාගැනීමේ වගකීම ඔවුන්ට තිබූ බවය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිතීඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය සඳහන් කළේ, එකොළොස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුවී තිබියදී අධිකරණ වෛද්‍ය වාර්තාවලින් මළවුන් සාක්ෂි සපයා තිබියදීත් නීතිපතිවරයා මෙම නඩුගොණුව වසා දැමීමට ගත් තීරණයට එකඟ විය නොහැකි බවය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මහර බන්ධනාගාර රැඳවියන් එකොළොස් දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මා විසින් සිදු කළ විමර්ශන අනුව එම රැඳවියන් සතුව ගිනි අවි තිබී නැහැ. ඔවුන් අත තිබුනේ පොලු මුගුරු ගල් වැනි භාණ්ඩ කීපයක් පමණයි. නමුත් අධිකරණ වෛද්‍ය වාර්තා අනුව ඔවුන් මියගොස් තිබුණේ ගිනි අවිවලින් එල්ලවූ වෙඩි පහරවලින්.
ඔවුන්ගේ ශරීර අභ්‍යන්තර කොටස්වල එනම් පෙනහල්ල පපුව උදර කුහරය වැනි ශරිරයේ ඉණෙන් ඉහළ කොටසට සිදුවූ බරපතළ තුවාලවලින් බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව තියෙනවා. කෙසේ නමුත් නීතිපතිවරයාගේ ඉල්ලීමට ගරු කරමින් මෙම නඩුව පවත්වාගෙන යාම අදින් අවසන් කර නඩුගොණුව වසා දැමීමට පියවර ගන්නවා. අගතියට පත් පාර්ශ්වකරුවන්ට මීට වඩා ඉහළ අධිකරණයකට යොමුවිය හැකියි. මේ වන විටත් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන බව වාර්තාවී තියෙනවා“ යැයි ද විවෘත අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කරමින් නඩුව වසා දැමීය.