විදේශගත නොවන බවට ප්‍රතිඥා දී සිටින හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාට කෙටි කාලයක් සඳහා විදේශගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) අවසර ලබා දුන්නේය.
පෞද්ගලික කටයුත්තක් සඳහා තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් ගොනු කර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දෙන ලදි.
නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පසුගියදා දෙන ලද නියෝගයක් නොතකාහරිමින් කටයුතු කිරීම මඟින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතර දෙනකු අධිකරණයට අපහාස කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබිණි.හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෞද්ගලික කටයුත්තක් සඳහා සිය සේවාදායකයාට ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍ය වී ඇති බව සඳහන් කළේය.
ඒ අනුව ජනවාරි මස 22 වැනිදා සිට පෙබරවාරි මස 28 වැනිදා දක්වා කාල සීමාව තුළ තම සේවාදායකයාට විදේශගත වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශ්වය එම ඉල්ලීමට විරෝධය පළ කළේ නැත.
ඒ අනුව ඔහුට විදේශගත වීමට අවසර දීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.