Sunday, April 20, 2025
Home » මන්ත්‍රී අර්චුනාට එරෙහි පෙත්සම ජනවාරි 15 විභාගයට

මන්ත්‍රී අර්චුනාට එරෙහි පෙත්සම ජනවාරි 15 විභාගයට

by mahesh
December 18, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රැකියාවෙන් ඉවත් නොවී මැතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබන ජනවාරි 15 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (17) තීරණය කළේය.

‘අභිනව නිවහල් පෙරමුණේ’ සභාපති ඕෂල හේරත් මහතා විසින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදි.

එහිදී පෙත්සම වෙනත් දිනයක කැඳවීමට තීරණය කළේය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා,

ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවට තරග කිරීමේදී රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බව පෙත්සමෙහි සඳහන් වේ.

යම් රජයේ සේවකයකු පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යවස්ථාපිත නීතීන් අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී ඉන් ඉවත් විය යුතු බව පෙත්සමෙහි සඳහන් වේ. එහෙත් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා එසේ සිදු කර නැති බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම සඳහා ඔහු නුසුදුසු පුද්ගලයකු බවට පෙත්සම්කරු පැමිණිලි කර සිටී. ඒ බව ප්‍රකාශ කරන ක්වො වොරන්ටෝ රිට් ආඥාවක් සහ ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අශෝක බලන් මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT