දඹුල්ල – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පැල්වෙහෙර මහවැලි හන්දියේ ඊයේ (17) අලුයම කන්ටේනර් රථයක් මතට අඹ ගසක් කඩා වැටීම හේතුවෙන් රථයට බරපතළ හානි සිදුවී පැය ගණනාවක් වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව පොලීසිය පවසයි.
ත්‍රිකුණාමලයේ සිටි කොළඹ වරායට තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මතට මෙලෙස මහ මඟ අසල තිබූ විශාල අඹ ගසක් පතිත වී ඇතැයි පොලීසිය පවසයි. දින ගණනාවක සිට ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ මෙම අඹ ගසේ මුල් බුරුල් වී තිබෙන්නට ඇති බව පොලීසිය විශ්වාසය පළ කර සිටියි.
අලුයම හතරයි තිහට පමණ එකවරම මහා විශාල ශබ්දයක් ඇසී මහමඟ බලන විට කන්ටේනර් රථයේ රියැදුරු ඉතා පරිස්සමෙන් දිවි බේරාගෙන ඇති බවත්, රථය මතට මෙම දැවැන්ත අඹ ගස වැටී තිබෙන අයුරු දුටු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
එමෙන්ම දඹුල්ල මහ නගර සභාව සහ දඹුල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අලුයම සිට දහවල් වනතුරු පැය ගණනාවක් මෙම විශාල අඹ ගස කන්ටේනර් රථය මතින් ඉවත් කිරීම සඳහා දැඩි වෙහෙසක් දරන අයුරු ද දැක ගැනීමට හැකි විය.
එමෙන්ම මාර්ගයේ එකපසක් සම්පූර්ණයෙන්ම වසා එක පැත්තකින් වාහන ගමනාගමනයට ඉඩහසර ලබා දීමටත් පොලීසිය කටයුතු කළේය.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර කන්ටේනර් රථයේ රියැදුරු සඳහන් කළේ තමන් වාහනය පදවාගෙන එන අතරතුර එක්වරම අඹ ගස මහමඟ දෙසට ඇද වැටෙන අයුරු දැක රථය නවතාගත් බවයි.