වවුනියාව, සේමමඩු 2 අදියරේ රාජකාරි කළ අතුරුදන්ව සිටි වනජීවී බහුකාර්ය සහායකයාගේ මළ සිරුර සේමමඩු වාන්ඇළේ තිබී ඉකුත් 15 වැනිදා උදෑසන සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලීසිය පවසයි.
ප්‍රදේශයේ අලි වැට පරීක්ෂා කිරීමට පසුගිය 14 වැනිදා ගිය වනජීවී බහුකාර්ය සහායකයාගේ මළ සිරුරක් එලෙස සොයා ගැනීමට හැකිවූ බව පවසන පොලීසිය එලෙස මියගොස් ඇත්තේ වවුනියාව, මහරම්භකුලම් පදිංචි සතාසිවම් නිරංජන් නමැති වයස අවුරුදු 30ක පුද්ගලයකු බව ද සඳහන් කරයි. අතුරුදන්වූ නිලධාරියා 14 වැනිදා සවස අලිවැට පරීක්ෂා කිරීමේ කටයුතු අවසන්කොට තවත් නිලධාරියකු සමඟ එමින් සිටියදී සේමමඩු වාන් ඇළේ සපත්තු පාලමේ දී නිරංජන්ගේ පාවහන් ජලයේ ගසාගෙනගිය බවත්, එය සොයාගෙන එන තෙක් සපත්තු පාලම අසල රැඳී සිටින ලෙස නිරංජන් තමන්ට පැවසූ බව සෙසු නිලධාරියා පවසයි. එහෙත් ඔහු පැයක් පමණ යන තෙක් ඔහු නොපැමිණි බැවින් බහුකාර්ය සහායකයන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඇතිව සොයා බැලුවත් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඕමන්ත පොලීසියට පැමිණිලි කර තිබේ.
එලෙස අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර ඉකුත් 15 වැනිදා උදෑසන 8.30ට පමණ සපත්තු පාලමට නුදුරින් ඇළ මාර්ගයේ තිබිය දී සොයා ගත් බව පවසන පොලීසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද පැවසීය.