Home » SolarX Startup Challenge වැඩිම ජයග්‍රාහකයෝ ශ්‍රී ලංකාවෙන්

SolarX Startup Challenge වැඩිම ජයග්‍රාහකයෝ ශ්‍රී ලංකාවෙන්

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව SolarX Startup Challenge ආසියා – පැසිෆික් කලාපයේ වැඩිම ජයග්‍රාහකයන් සංඛ්‍යාවක් බිහි කළ රට බවට පත්ව තිබේ.

මේ අභියෝගය ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය විසින් ඉන්වෙස්ට් ඉන්ඩියා සමඟ සහයෝගයෙන් COP 28හිදී දියත් කරන ලද අතර, සූර්යබල ක්ෂේත්‍රය තුළ නව්‍ය විසඳුම් හඳුනාගැනීම සහ ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ වසරේදී මේ අභියෝගය විසින් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය සහ තවත් රටවල් රැසක් ඇතුළත් වන ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ ආරම්භක සමාගම් 20ක් හඳුනාගෙන තිබෙන අතර, එලෙස තෝරාගන්නා ලද සමාගම් විස්සෙන් හතරක් ශ්‍රී ලංකාවේ සමාගම් බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්වෙස්ට් ඉන්ඩියා සහ ජාත්‍යන්තර සූර්යබල සන්ධානය හා එක්ව මෙම වසර මුලදී සංවිධානය කළ වැඩමුළුවකදී මේ අභියෝගය ආරම්භක සමාගම් වෙත හඳුන්වා දෙන ලද බවද එම මහ කොමසාරිස් කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය කළ සමාගම් සඳහා අමෙරිකානු ඩොලර් 15,000ක ප්‍රදානයක් සමඟ උපදේශකත්වය, ආයෝජක සබඳතා සහ වෙළෙඳපොළ ප්‍රවේශ අවස්ථා ඇතුළු වේගවත්කරණ සහයෝගය හිමි වෙයි. බයෝ ලංකා එක්ස්ධපෝට්ස් (පුද්.) සමාගම, මැජික්බිට් (පුද්.) සමාගම, සින්ටැක්ස් ජෙනී (පුද්.) සමාගම සහ බ්ලූචිප් ටෙක්නොලොජීස් ඒෂියා සමාගම් එහි ආරම්භක සමාගම් වෙයි.

ඉන්වෙස්ට් ඉන්ඩියා විසින් SolarX Startup Challenge වැඩමුළුවේ දෙවැනි වටය පසුගියදා (12) කොළඹදී සංවිධානය කරන ලද අතර, මේ භෞතික වේගවත්කරණ වැඩමුළුව උපදේශකත්ව සැසි, අන්තර් ක්‍රියාකාරි සාකච්ඡා සහ ව්‍යාපාරික අවස්ථා සමඟ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ආරම්භක සමාගම් තවදුරටත් බලගැන්වීම සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහනක් වෙයි. ආරම්භක සමාගම් සඳහා දේශීය පරිසර පද්ධතිය පිළිබඳ අත්දැකීම් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සූර්ය සහ පුනර්ජනනීය බලාගාර වෙත ක්ෂේත්‍ර චාරිකාද මෙයට ඇතුළත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT