වසර 2021 සිට ගතවූ කාලය ඇතුළත චීන ජාතිකයන් 20 දෙනකු පාකිස්තානයේදී ඝාතනයට ලක්වී ඇතැයිද, තවත් චීන ජාතිකයන් 34 දෙනකු තුවාල ලබා ඇතැයි ද එරට ජාතික ත්‍රස්ත විරෝධී අධිකාරිය පාර්ලිමේන්තු රැස්වීමකදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසර 3 ඇතුළත චීන ජාතිකයන් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර 14ක් සිදුවූ බව ද ත්‍රස්ත විරෝධී අධිකාරියේ ප්‍රධානි කර්නල් උස්මාන් සඳහන් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ප්‍රහාරවලින් 8ක් සින්ද් ප්‍රාන්තයේ සිදුවී ඇති අතර, බලුකිස්තානයේදී ප්‍රහාර 4ක් ද, කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේදි ප්‍රහාර 2ක් ද සිදුවූ බව ජාතික ත්‍රස්ත විරෝධී අධිකාරියේ ප්‍රධානියා තහවුරු කළ බව ද එරට මාධ්‍ය සඳහන් කළේය.
චීන ආයෝජන යටතේ පාකිස්තානයේ විවිධ ප්‍රාන්තවල සිදුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා සිටින චීන ඉංජිනේරුවරුන් සහ කම්කරුවන් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර අඛණ්ඩව සිදුවීමෙන් චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පාකිස්තාන හමුදාව අසමත්වූ බව පෙන්නුම් කරන බවත්, පාකිස්තානයේ චීන සංවර්ධන ව්‍යාපෘති විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවට ද බලපෑම් එල්ල වී ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. එම අයෝජන ව්‍යාපෘති සඳහා සේවය කිරීමට පැමිණි චීන ජාතිකයෝ 20,000ක් පමණ පාකිස්තානයේ තාවකාලිකව පදිංචිව සිටිති.