Sunday, April 20, 2025
Home » කොළඹ මැද හන්දිය කොම්පඤ්ඤ වීදිය

කොළඹ මැද හන්දිය කොම්පඤ්ඤ වීදිය

by mahesh
December 18, 2024 1:00 am 0 comment

රජිත බස්නායක

අප රටෙහි පවතින හන්දි ගැන කතා කරන්නේ නම් එය ඉවක් බවක් නැතිව කියවිය හැකි මාතෘකාවකි. හතරමං හන්දි, තුන්මං හංදි, දෙමං හන්දි නොයෙක් ආකාරයට එකී මෙකී නොකී සිද්ධි හරහා විවිධ අයුරින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඒ ආකාරයට ලංකාවේ ප්‍රසිද්ධ හන්දි ගැන කතා කිරීමට යාම නම් කොටි වලිගය අල්ලා ගත්තා වැනි කාර්යයකි. එය වෙනම විෂයපථයකි. සරලව කිවහොත් කවදාවත් කළ හැකි කාර්යයක් ද නොවේ. එහෙත් අප අද මේ කතා කරනු ලබන්නේ ලංකාවේ අගනුවර මධ්‍යයේ තිබෙන්නා වූ සුප්‍රසිද්ධ හන්දියක් පිළිබඳවය.

පෙර පාසලේ සිට අකුරු උගන්නා සියල්ලන්ටම මහ අකුරු හමුවන්නේ පාසල් ගිය පසුය. අකුරු කියවීමට නොහැකිවූවන්ට නම් එකල මේ අක්ෂර සියල්ලම පෙනුණේ මහ අකුරු වාගේය. කවර අකුරු ලිව්ව ද ලිවීමට අපහසුම අකුරක් ලෙසින් කාහටත් පෙනෙන්නට තිබුණේ ‘ඤ’ ය. මඤ්ඤොක්කා කෑම කොතරම් ගුණ වුවත් ගැටලුව මතුවූයේ ලිවීමට ගිය පසුය. අතීතයේ පුවත්පතක පළව තිබූ ගුරු රස කතා තීරයක ලියවී තිබුණේ කියවන විට ලිවීමේදී Òපිපිඤ්ඤාÓ යන්න ගුණපාල විසින් ලියා තිබුණේ ‘පි පි කද් කදා’ ලෙසින් බවයි. පසුකාලීනව අපට දැන ගන්නට ලැබුණු තොරතුරු අනුව කොළඹ මැද මහා නගරයක් තියෙනවාය, එහි නම කොම්පඤ්ඤ වීදිය යන්නය. එයනම් මහා වෙනස් නමක් ලෙස අප හැමෝටම පෙනෙන්නට විය. පිපිඤ්ඤා ලියන්නට නොහැකිව Òපි පි කද් කදා’ ලියූ ගුණපාල අප සමඟ සිටියා නම් කොම්පඤ්ඤ වීදිය ලියන්නේ කවරාකාරයෙන් ද යන්න මට මැවී පෙනිණි. අද කතාව slave-island ලෙසින් හැඳින්වෙන කොම්පඤ්ඤ වීදිය ගැනයි.

වහල් දූපත

ශ්‍රී ලංකාවේ රටේ අනෙක් දිග්භාගයේ අය අප මෙම කතා කරනු ලබන ස්ථානය Òකොම්පඤ්ඤ වීදියÓ ලෙසින් හැඳින්වුවද කොළඹකරයේ බොහෝ දෙනා එය හැඳින්වූයේ slave-island ලෙසිනි. එහි තේරුම වහල් දූපත යන්නයි. ඔවුන් එය එසේ හැඳින්වූවේ විලාසිතාවට ද නොවේ, එය යටත්විජිත සමයේ සිට හඳුන්වන නම හෙයිනි. එහෙත් slave-island එසේත් නැතිනම් මෙය වහල්දූපත ලෙසින් හඳුන්වා දී ඇත්තේ යම් වැරදීමකින් බව පෙන්වා දෙන්නේ ආර්.එල්.බ්‍රෝහියර්ය. ඔහු තම අදහස තුළ කියාපා ඇත්තේ කාපිරි ජන කොට්ඨාස රඳවා සිටි බේරේ වැවෙන් වටව පිහිටි කොටස දූපතක් ලෙසින් වරදවා වටහා ගැනීමෙන් එසේ නම් කරන්නට ඇති බවය. මේ ආකාරයට කාපිරි ජාතිකයන් රඳවා සිටි කාලය ලෙසින් දැක්වෙන්නේ ඕලන්ද පාලන සමයයි. slave island එසේ වුවද අපට කතා කළයුතු වන්නේ කොම්පඤ්ඤ වීදිය පිළිබඳවය.

වැරදීමකින් මෙය වහල් දූපත ලෙසින් සඳහන් වුවද ‘Recollection of ceylon’ ග්‍රන්ථයට අනුව එහි සඳහන් වන්නේ වහලුන් රඳවා සිටින ගොඩබිම සිට බේරේ වැවට පැතිර යන කොටස වහල් දූපත ලෙසින් හඳුන්වා දී ඇති බවය.

Slave island එයාකාරයෙන් වුවද අපට කතා කළ යුතු වන්නේ කොම්පඤ්ඤ වීදිය පිළිබඳවය.

කොම්පඤ්ඤ වීදියේ පිහිටීම

 බේරේ වැවෙන් වටව පිහිටි කොටස

බේරේ වැවෙන් වටව පිහිටි කොටස

කොම්පඤ්ඤ වීදියේ පිහිටීම ද ඇත්තේ වෙනම ආකාරයකටය. එහි වඩාත් කතාබහ කළ යුතු ස්ථානය වන්නේ කොම්පඤ්ඤ වීදිය හන්දියයි. මේ ස්ථානය වැදගත් වන්නේ පාරවල් හයක් එකට සම්බන්ධ වන ස්ථානයක් නිසාය. එය ඉතා දුර්ලභ ආකාරයෙන් කෙමෙන් ගොඩනැඟුණකි. ඒ මෙසේය, කොමර්ෂල් බැංකුව ඉදිරිපිටින් හන්දියට සම්බන්ධ වන යුනියන් පෙදෙස, ගංගාරාම පන්සල දෙස සිට පැමිණෙන සර් ජේම්ස් පීරිස් මාවත, දුම්රිය පොළ දිශාවෙන් පැමිණ ආවේමරියා දේවස්ථානය ඉදිරිපසින් එකතුවන ජස්ටිස් අක්බාර් මාවත, නිපොන් හෝටලය ඉදිරිපිටින් බෝගස සමඟම හන්දියට එක්වන කුමරන් රත්නම් පාර ප්‍රධාන පාර ලෙස දැක්විය හැකිය. ඒ අතරම නිපොන් හෝටලයේ බෝ ගස අසලින් ඇතුළට ඇති පාර කිවි පාර වන අතර සර් ජේම්ස් පීරිස් මාවත එක්වන තැනින් හන්දියට අනෙක්පසින් එක් වන්නේ වෑකන්ද පාරයි. පාරවල් හයක් වැනි ප්‍රමාණයකින් යුත් මෙවන් හන්දියක් ලංකාවේ කවර දිශාවකින් හෝ සොයා ගන්නට ඇත්නම් එය බෙහෙවින් සූරකමකි.

කෙසේ වුව කොම්පඤ්ඤ වීදිය සම්බන්ධයෙන් ඒ නම ඇතිවූ ආකාරය පිළිබඳව කතාන්දර දෙකක් තිබේ. james corden පියතුමා කොම්පඤ්ඤ වීදිය පිළිබඳව තම අදහස් දක්වා ඇත්තේ, බේරේ වැව අසල සිට සිටි පදිංචිකරුවන්ගේ දින චර්යාව වූයේ ජලාශවලින් උදැසනින්ම ජල යාත්‍රාවලින් කොටුවට ගොස් යළි සවසට පැමිණි බවය. එමෙන්ම මේ අවට පදිංචියට සිටියේ ද යම් යම් රැකියාවන්හි යෙදෙන්නන් සහ ව්‍යාපාරිකයන් බවය.

අපි කතා කරනු ලබන කොම්පඤ්ඤ වීදිය නිර්මාණය වුයේ කවර ආකාරයට ද?’ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී, අතීතයේ ඕලන්ද ජාතිකයන් පිහිටුවා තිබූ රයිෆල් රෙජිමේන්තුව සම්බන්ධයෙන් කතාකළ යුතුම වෙනවා. එය පිහිටා තිබුණේ මේ ආසන්නයේමයි. ඒ දිනවල සිටම මේ ස්ථානය හඳුන්වා දී තිබුණේ කොම්පැනි ස්ට්‍රීට් යනුවෙනි. එම නිසා පසුකාලීනව මෙම ස්ථානය කොම්පැනි හන්දිය යනුවෙනුත්, තවත් කලක් ඉක්ම ගිය පසු කොම්පඤ්ඤ වීදිය යනුවෙනුත් හඳුන්වා දී ඇති බවයි අතීත විස්තරයන්හි දැක්වෙන්නේ. මේ ආකාරයට හඳුන්වා දුන් කොම්පඤ්ඤවීදිය කලක් ගත වනවිට ඇෆ්ගන් ටවුම ලෙසින් ද හැඳින්වීමට කටයුතු කොට තිබෙනවා. එයට හේතුව වන්නේ ඒ කාලසමය වනවිට ඒ අවට වැඩි ප්‍රමාණයක් ඇෆ්ගන් ජාතිකයන් ජීවත් වීමයි. මේ හා සමාන කාල වකවානුවකම මැලේ ජාතිකයන් ද මේ අවට පදිංචි ප්‍රදේශයන්හි බහුල වශයෙන් ජීවත්ව හුන් නිසා වර්තමානය වනවිට මැලේ වීදිය ලෙසින් හඳුන්වන්නේ එම ප්‍රදේශයයි.

අප මෙම කතා කරනු ලබන නම ඇතිවීම සම්බන්ධයෙන් එලිෆන්ට් හවුස් ආයතනය පිළිබඳව ද වැඩි වශයෙන් කතාබහ කළ යුතු සමාගමකි. මන්ද ජර්මන් ජාතික ඉංජිනේරුවරයකු වන Arthur Kurt Von Possnerමෙය ශ්‍රී ලංකාවේ ආරම්භ කරනු ලැබුවේ 1833 වසරේදීය. එවක මෙය හැඳින්වූයේ ceylon cold stores ලෙසිනි. එහෙත් පසුකාලීනව මෙය ceylon ice company ලෙසින් නම් වන්නට විය. මෙය ග්ලේනි වීදියේ සිට දුම්රියපොළ සමීපය දක්වා පැතිර තිබූ බවක් දැක්වේ. ඒ හා සමඟම කොම්පැනි හන්දිය ලියාපදිංචි නමක් ලෙසින්ම භාවිත වූ අතර පසුව එය කොම්පඤ්ඤ වීදිය ලෙසින් නම් වන්නට වූ බව අතීත කරුණුවල දැක්වේ. එමෙන්ම මෙය වඩාත් ස්ථිර නමක් ලෙසින් තවදුරටත් ප්‍රචලිත වූයේ මේ අවට තවත් කුඩා පරිමාණයේ ස්ථානයන් බිහිවීමත් සමඟයි.

කෙසේ වුවද මාවත් හයක් එකතුව නිර්මාණය වන කොම්පඤ්ඤ වීදිය සම්බන්ධයෙන් කතාබහ කරනවිට කාපිරි වහලුන් ද වැදගත්ම මාතෘකාවක් ලෙසින් මතුව පැමිණේ. වර්තමානය වනවිට ඔවුන් දක්නට නොමැතිවුවද අතීතයේ කාපිරි ජාතිකයන් කාපිරි මුඩුක්කු ගණනාවකම ජීවත් වූ බැවිනි. එහෙත් ලිපිය මෙයින් අවසන් කරන්නට බලාපොරොත්තු වන්නේ ඉදිරි දිනක ඔවුන් සම්බන්ධයෙන් කතාබහ කළ යුතු හෙයිනි.

දුම්රියපොළ පාර

දුම්රියපොළ පාර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT