Home » වනාන්තර වැසියන්ගේ මරණයේ භීතිය

වනාන්තර වැසියන්ගේ මරණයේ භීතිය

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මහා වනාන්තරයේ ජීවත් වීම යනු සෑම විටකම අවිනිශ්චිත එකකි. වනාන්තර සත්ත්වයින්ට කොයි මොහොතේ මරණය ළඟාවිය හැකිදැයි කිව නොහැකිය. අපා දෙපා සිවුපා බහුපා ආදී සැමටම හදිසි මරණය ඕනෑම මොහොතක විය හැකිය. මරණ බියෙන් තැති ගත් සත්ත්වයින්ට එයින් ගැලවීමක් වනාන්තරයේදී නැත.

කැලෑවේ ජීවත්වන තිරිසන් සත්ත්වයින්ට වඩා යක්ෂ ප්‍රේතා දී අමනුෂ්‍යයින්ගේ ආයුෂ බොහෝ වැඩි ය. ඔවුන් බොහෝ කලක් ජීවත් වෙති. සමහරුන් අරක් ගත් ස්ථානවල පරම්පරා කිහිපයක් ජීවත් වුණ අවස්ථා ද මුණගැසී තිබේ. නමුත් තවදුරටත් ඔවුන්ට වාසය කිරීමට නොහැකි ලෙස එම ස්ථාන විනාශ කර දැමුවහොත් ඔවුන් එම විනාශ කළ මිනිසුන් සමඟ ගැටේ. බොහෝ විට පළි ගනී. ඉන්පසුව එම ස්ථාන හැර දමා වෙනත් ස්ථාන සොයාගෙන යයි.

අනුරාධපුර හරහා පදවියට ගිය පසු එහි පදවි වැව කෙළවර දෙයියන්ගේ කන්ද නමින් ගල්තලාවක් තිබේ. ඒ ගල්තලාවේ උඩ ගරා වැටුණ චෛත්‍යයට පහළින් පැත්තක පුරාණ ගල් ලෙනක් තිබේ. මීට වසර ගණනාවකට ඉහතදී එය කලක් භික්ෂුවගේ නවාතැන විය. බොහෝ උකුස්සන් පදවි වැවෙන් අල්ලා ගන්නා මාළුන් ගෙනවිත් කන්නේ භික්ෂුවගේ ගල් ලෙන ඉදිරියේ ඇති මහ ගස උඩ සිට ය. මේ මහා ගල්තලාව බොහෝ සතුන් පණ පිටින් අල්ලා ගෙනවිත් කීතු කීතු ලෙස ඉරා දමා කන එකම අමු සොහොනකි.

එක් දිනක් වනාන්තරය ඇතුළත තවත් ගල් ලෙනක හුදෙකලාව සිටි භික්ෂුව දුටුවේ කොටියෙක් විසින් මුව දෙනක් අල්ලාගෙන කන ආකාරය යි. කොටියා මුව දෙන අල්ලාගෙන පණ තිබිය දීම කීතු කීතුවලට ඉරාගෙන කන ආකාරය දෙස බලා සිටින විට දී භික්ෂුව දුටුවේ මුව දෙන පැටියා ද ඒ මොහොතේම බිහි කරන ආකාරය යි. කොටියා ළඟ තිබූ ගසක් උඩට මියගිය මුව දෙන ගෙන ගොස් තබා නැවත විත් පැටියා ද මරාගෙන කන්නට විය. මරණය කුමන ලෙසකට තමන් ඉදිරියට පැමිණිය හැකි දැයි කිව නොහැකි ය.

අද සියලුම සත්ත්වයින්ට මුහුණ දීමට සිදුවන මරණය ගැන කියමි. විශුද්ධි මාර්ගයේ සහ අපගේ වෙනත් භාවනා ක්‍රමවල සඳහන් මරණය මෙනෙහි කරන ආකාර කිහිපයෙන් දෙකක් මීට පෙර කීවෙමි. මරණානුස්සතිය වැඩිය යුතුම ය. එය නුවණ වැඩීමට හේතු වේ. සසර භය ඇති වීමටද හේතු වේ. මරණානුස්සතිය වැඩීමට එම කමටහන් කිහිපයද ඔබට කියා දෙමි.

භාවනා වාක්‍යයෝ

‘අහෝ! මේ ජීවිතය සම, මස්, නහර, ඇට, ඇටමිදුළු ඇසුරු කොට ඇති අසූ කුලයක ප්‍රාණීන්ට සාධාරණ වන්නේ ය. ඔවුන්ගේ කිපීමෙන් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! නයි, පොළොං ආදි විසකුරු සර්පයකු දෂ්ට කිරීමෙන්, දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! පය පැටලී වැටීමෙන් හෝ වැළඳූ ආහාර අජීර්ණ වීමෙන් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! ඇස් රෝගයකින් හෝ කන් රෝගයකින් හෝ දිවෙහි හැදෙන රෝගයකින් හෝ හිසෙහි හැදෙන රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! මුඛ රෝගයකින් හෝ දත් රෝගයකින් හෝ අතීසාර රෝගයකින් හෝ පීනස් රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! දාහ රෝගයකින් හෝ කාස රෝගයකින් හෝ කුෂ්ට රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! ගෙඩි රෝගයෙන් හෝ දද රෝගයෙන් හෝ අපස්මාර රෝගයෙන් හෝ පිළිකා රෝගයෙන් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

“අහෝ! පිත හෝ සෙම හෝ වාතය හෝ මුල්කොට ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! ඍතු වෙනස් වීමකින් හෝ වැරදි පිළිපැදීමකින් හෝ උපක්‍රමයකින් ඇතිවන රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

අහෝ! පෙර කළ කර්මයක විපාකයෙන් හෝ සීතල නිසා හෝ උෂ්ණය නිසා හෝ බඩගින්න නිසා හෝ පිපාසාව නිසා හෝ ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

‘අහෝ! මලබද්ධය නිසා හෝ මුත්‍රා දෝෂයක් නිසා හෝ ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතේ පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

අහෝ! මේ ජීවිතය ගින්දර, ජලය, වස විෂ, අවි ආයුධ ආදි විවිධ උපද්‍රවවලට සාධාරණ වන්නේය. අහෝ! දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

අහෝ! මාගේ මරණයට ආධ්‍යාත්මික උවදුරු ද, බාහිර උවදුරුද බොහෝ බැවින්, ක්ෂණයකින් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි. අහෝ! මරණය. අහෝ! මරණය. අහෝ! මරණය.’

සත්ත්වයා ජීවත් වන්නේ ආශ්වාස ප්‍රශ්වාස වාතය, සීතල, උණුසුම, ආහාර යනාදී ජීවිතය පැවැත්වීමට උපකාර වන හේතූන් සමව පවතින තෙක් පමණි. ඒ හේතුවල කුමන හෝ වෙනසක් සිදු වුණොත් සත්ත්වයා මරණයට පත් වන්නේ ය. මේ හේතු නිසා පවතින ආයුෂය (ජීවිතේන්ද්‍රිය) ඉතා දුර්වල නිසා ආයු දුර්වලත්වය සලකා ද මරණානුස්සතිය වැඩිය යුතුය.

භාවනා වාක්‍යයෝ

අහෝ! මාගේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස සමව පවතින තෙක් පවතියි. එහි වෙනසක් ඇති වුවහොත් වහාම මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

අහෝ! පිටතට නික්මුණු නාසිකා වාතය ඇතුළට නොපැමිණීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

අහෝ! ඇතුළට ගිය නාසිකා වාතය පිටතට නොපැමිණීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

‘අහෝ! මාගේ ජීවිතය පවතින්නේ සතර ඉරියව් සමව පවතින තෙක් පමණි. එයින් එක් ඉරියව්වක්වත් අධිකව පැවැත්වීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි’

“අහෝ! ශරීරයෙහි සීතල අධික වීමෙන් හෝ උෂ්ණය අධික වීමෙන් හෝ වහා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

“අහෝ! පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් අතරින් යමක් කිපීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’

“අහෝ! ආහාර පානාදිය සුදුසු අවස්ථාවෙහි නොලැබීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි. අහෝ! මරණය… අහෝ! මරණය… අහෝ! මරණය…’’

භික්ෂුව සිටි ගල් ලෙන අසල පිහිටි ගල් ලෙනක ඉතා දරුණු යක්ෂයෙක් වාසස්ථානය කරගෙන සිටියේය. ඔහු අතිශයින්ම දරුණු නපුරු කෙනෙකි. ලබන සතියේ එම සිදුවීම බලාපොරොත්තු වන්න.

වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT